දිවයිනේ ප්‍රදේශ දෙකක ජනතාවට වහාම ඉවත්වෙන ලෙස දැනුම් දෙමින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ, හඟුරන්කෙත, නිලදණ්ඩාහින්න සහ මතුරට යන ප්‍රදේශවලටයි මෙම රතු නිවේදනය නිකුත් කර ඇත්තේ.

ඒ, හෙට උදෑසන 8 දක්වා ඉදිරි පැය 24 දක්වා බලපැවැත්වෙන පරිදියි.

එමෙන්ම තවත් දිස්ත්‍රික්ක 7ක් සඳහා අවදානයෙන් සිටින ලෙස නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. බදුල්ල, කළුතර, මාතර, නුවරඑළිය, මහනුවර, කෑගල්ල සහ රත්නපුර එම දිස්ත්‍රික්කයි. දිස්ත්‍රික්ක 12ක් සඳහා විමසිලිමත්ව සිටින ලෙසට ද අනතුරු අඟවා තිබෙනවා.

බදුල්ල, කොළඹ, ගාල්ල, හම්බන්තොට, කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මාතර, නුවරඑළිය සහ රත්නපුර එම දිස්ත්‍රික්ක වනවා.

මේ අතර, නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය ඊයේ මධ්‍යම රාත්‍රී පමණ වන විට ශ්‍රී ලංකාවට දකුණු දෙසින් පැවති අතර එය ඉදිරි පැය 30 තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ වැසි සහ සුළං තත්ත්වයේ වැඩි වීමක් ඉදිරි දින කිහිපයේදීත් බලාපොරොත්තු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

ඒ අනුව නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මිලි මීටර් 150ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකියි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ නිමල් බණ්ඩාර ඒකනායක මහතා පැවසුවේ.

උතුරු, උතුරුමැද, වයඹ, බස්නාහිර සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝ මීටර් 50ක පමණ තද සුළං ඇතිවිය හැකි අතර, සෙසු ප්‍රදේශවලත් විටින් විට හමන පැයට කිලෝ මීටර් 40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ නිමල් බණ්ඩාර ඒකනායක මහතා වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අවදානම් සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයින වටා සියලුම ධීවර යාත්‍රා රැකියාව සඳහා පිටත්වීම් නැවත දැනුම් දෙනතුරු අවලංගු කරන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම අවදානම් සහිත මුහුදු ප්‍රදේශවල මේ වන විට රැකියාවේ නිරතව සිටින සියලුම ධීවර යාත්‍රා ගොඩබිමට හෝ ආරක්ෂිත ප්‍රදේශවලට යාත්‍රා කරන ලෙසත්, සියලුම ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසයි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ඉදිරි නිවේදන සහ ගුවන් විදුලි පණිවිඩ කෙරෙහි දැඩි අවධානයක් යොමු කරන ලෙසද එහිදී අවධාරණය කර තිබෙනවා.