කතරගම ඓතිහාසික වැඩසිටිකන්ද පුදබිමේ ආරක්ෂාව සඳහා ස්ථාපිත කර තිබූ පොලිස් මුරපොළෙහි රාජකාරි සඳහා පත් කර සිටි නිලධාරීන් ඉවත් කර ඇති බවට එම පුදබිමේ විහාරාධිපති හිමියන් ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද ලිපියක් සමාජ මාධ්‍යයේ හුවමාරු වීම සම්බන්ධව පොලීසිය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පොලීසිය එම නිවේදනයෙන් දක්වා ඇත්තේ අදාළ පුවතෙහි කිසිදු සත්‍යතාවයක් නොමැති බවයි. වැඩසිටිකන්ද පුදබිමෙහි ආරක්ෂාව සඳහා ප්‍රමාණවත් පොලිස් හා යුද හමුදා නිලධාරීන් පිරිසක් යොදවා ඇති බවද පොලීසිය අදාළ නිවේදනයේ දක්වා තිබෙනවා. එමෙන්ම අදාළ විහාරස්ථානයේ ආරක්ෂාව තහවුරු කර ඇති බවත් පුද්ගලානුබද්ධ ආරක්ෂාව නොව ස්ථානයේ හා බැතිමතුන්ගේ ආරක්ෂාව තහවුරු කිරිමට පොලීසිය පියවර ගෙන ඇති බවත් එහි සඳහන්. වැඩසිටිකන්ද පොලිස් මුරපොළට අනුයුක්තව සිටි අතිරික්ත නිලධාරීන් ඉවත් කර එම නිලධාරීන් කතරගම පොලිස් වසමේ නීතිය හා සාමය ස්ථාපිත කිරීමේ රාජකාරි සඳහා යොදවා ඇති අතර එම ලිපියේ සඳහන් පරිදි වැඩසිටිකන්ද පුදබිමේ පොලිස් ආරක්ෂාව පූර්ණ වශයෙන් ඉවත් කර නොමැති බවද පොලීසිය විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබෙනවා. මේ අතර, නැගෙනහිර පළාතේ සංඝනායක හිමි නමක් උන්වහන්සේට ලබා දී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කර ඇති බවට පුවත් ඇතුළත් කරමින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වන පුවතක් සම්බන්ධයෙන් පොලීසිය මගින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අදාළ නිවේදනයේ සඳහන් වන්නේ එම සංඝනායක හිමි නමට ලබා දී තිබූ අරක්ෂාව ඉවත් කිරීමට කටයුතු සිදු කර නොමැති බවයි. එමෙන්ම උන්වහන්සේට ලබා දී තිබූ අරක්ෂාව පෙර පරිදිම ලබාදීමට කටයුතු කර ඇති බවද එම නිවේදනයේ සදහන්. මෙම පුවතට අදාළව එම හිමියන් වෙත ඇමති ආරක්‍ෂක ඒකකයේ නිලධාරීන් ආරක්‍ෂාව සඳහා යොදවා තිබූ අතර අතිරික්ත නිලධාරීන් කළමනාකරණය සිදු කර එම නිලධාරීන් කොළඹ ඇමති ආරක්‍ෂක ඒකකයේ සිට මෙම රාජකාරිය සඳහා මුදා හැර ආරක්‍ෂක කටයුතු පවත්වාගෙන ගිය බවයි පොලීසිය පවසන්නේ. කෙසේවෙතත් කොළඹ සිට මෙම නිලධාරීන් නැගෙනහිර පළාතේ රාජකාරි සඳහා යෙදවීමේදී ඇතිවූ පරිපාලන ගැටලුවක් හේතුවෙන් අදාළ පොලිස් බල ප්‍රදේශයේ පොලීසිය මගින් ආරක්‍ෂාව සැලසීමට කරනු ලැබූ පරිපාලනය පහසු කිරීමේ යෝජනාවක් අනුව එසේ කටුයතු කිරීමට සැලසුම් කළ නමුත් කිසිදු අවස්ථාවක ආරක්‍ෂාව ඉවත් කිරීමට කටයුතු සිදු කර නොමැති බවයි මෙම නිවේදනයේ දක්වා ඇත්තේ. එම ආරක්‍ෂාව පෙර පරිදිම සංඝයාවහන්සේ වෙත ලබා දීමට කටයුතු සිදු කර ඇති බවද එහි දක්වා තිබෙනවා.