ඉකුත් වසරේ පැවති එල්.පී.එල් ක්‍රිකට් තරගාවලියේදී එම තරඟාවලියට සහභාගි වූ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට තරග පාවාදීම සඳහා බලපෑම් කළේ යැයි චෝදනා ලබා සිටින දඹුල්ල තණ්ඩර්ස් කණ්ඩායමේ හිමිකරු වන තමීම් රහමන් නමැත්තාට අද කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා භාරදුන්නා.

ඒ මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදීයි.

එහිදී නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අධි චෝදනා විත්තිකරුට භාරදීම සිදුවුණා.

ඉන් අනතුරුව විත්තිකරු රුපියල් ලක්ෂ 02 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටද විනිසුරුවරයා නියම කළා.

මෙහිදී විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි න්න ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ මෙම විත්තිකරු පසුව ඇප මත මුදා හැරුණු බව කියා සිටියා.

මෙම විත්තිකරු බ්‍රිතාන්‍ය පුරවැසි භාවය හිමි බංග්ලාදේශ ජාතිකයකු බවත් මෙම නඩුකරය හේතුවෙන් විත්තිකරුට වසර එකහමාරකට අධික කාලයක් ශ්‍රී ලංකාව තුළ රැඳී සිටින අතර මේ හේතුවෙන් ඔහුගේ පෞද්ගලික පවුලේ කටයුතු මෙන්ම ව්‍යපාරික කටයුතුත් අඩාල වී තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා පැවසුවා.

ඒ අනුව මෙම විත්තිකරු මෙම චෝදනාවලට වරද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කිරීමට සූදානම් බවත් ඒ පිළිබඳව තමන් නීතිපතිවරයා වෙත වාචිකව හා ලිඛිතව කරුණු සැලකිරීම් සිදු කර තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයක් පැවසුවා.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය සඳහන් කර සිටියේ විත්තිය විසින් ඉදිරිපත් කළ කරුණු පිළිබඳව නීතිපතිවරයාගේ ස්ථාවරය පැහැදිලි කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙසයි.

ඉන් අනතුරුව නඩුව දෙසැම්බර් මස 8 වන දා යලි කැඳවීමට නියමිතයි