විස්සයි විස්ස ක්‍රිකට් වාර්තා අලුත් කරමින් දකුණු අප්‍රිකාවට එරෙහි දෙවන විස්සයි විස්සයි තරගය ලකුණු 146කින් ජය ගැනිමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත් වුණා. පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 02ක් පමණක් දැවී ලකුණු 304ක් රැස් කළා. එහිදි එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ප්‍රවේගකාරී ඉනිමක් දියත්කළ ෆිල් සෝල්ට් පන්දු 60කදී නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 141ක්. එය එංගලන්ත පිතිකරුවෙකු විස්සයි 20 තරඟබිමේ රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වනවා. එහිදී ඔහුගේ ශතකය පන්දු 39ක් තුළදී ලබා ගැනීම විශේෂත්වයක්. එය වාර්තා අතරට එක් වන්නේ එංගලන්ත පිතිකරුවෙකු විස්සයි 20 තරඟ බිමේ රැස්කළ වේගවත්ම ශතකය ලෙසටයි. ජොෂ් බට්ලර්ද පන්දු 30කදී ලකුණු 83ක් රැස් කළා. ලකුණු 305ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පැමිණි දකුණු අප්‍රිකානු කණ්ඩායමට පන්දුවාර 16යි එක් පන්දුවක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කිරිමට හැකිවූයේ ලකුණු 158ක් පමණයි. එම ජයග්‍රහණයත් සමඟ තරඟ 3කින් යුත් විස්සයි විස්ස තරඟාවලිය තරඟ 1-1ක් ලෙස සම තත්ත්වයේ පසු වනවා. එංගලන්තය රැස්කළ ලකුණු සංඛ්‍යාව ෂක්‍ක්‍ පූර්ණ සාමාජික රටක් ජාත්‍යන්තර විස්සයි 20 තරග බිමේ රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව මෙන්ම ලකුණු 300 සීමාව පසුකළ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්. මීට පෙර එම වාර්තාව ඉන්දීය කණ්ඩායම විසින් පිහිටුවා තිබුණා. ඒ 2024 වසරේ දී බංග්ලාදේශයට එරෙහිව කඩුලු 06ක් දැවී ලකුණු 297ක් රැස්කර ගනිමින්. 2024 වසරේ පැවති තරඟයකදී ගැම්බියාවට එරෙහිව සිම්බාබ්වේ කඩුලු 04ක් දැවී ලකුණු 344ක් රැස්කිරීම ජාත්‍යන්තර විස්සයි 20 තරඟ බිමේ කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වනවා.