"හෙට වප් පෝය දවසෙත් වරෙල්ල කැළණියට..
අපි බලා ඉන්නව හපා කන්ට..!
මීට කැලණි බල්ලෝ..
කැළණිය පුද බිම බල්ලට ගිහින් දැන් බොහෝ කලකි.
අද එහි ගියෙමි.ඒ අපේ කුඹුරේ අස්වැන්නෙන් අග්‍ර කොටස මුලින්ම බුදුන්ට පූජා කරන්නටය..
කිරිපිඩු පූජාව බුදුන්ට පූජා කරන්නට කලින් බල්ලෝ එය අවශ්‍ය බව කියා ඇඟට පනිති.
චෛත්‍ය වටේට බල්ලෝ විසි පහකි.
පහන් පූජාවට පූජා කුටියට ගියෙමි.
බල්ලන්ගේ උඩින් පැන පහන් පූජා කලෙමි.
එක තැනක කලබලයකි.
චෛත්‍ය මළුවේ ඇවිද ගිය අවුරුදු දෙකක පොඩි පුතෙකුගේ පිටට පැන බල්ලෙකු හපා කා ඇත .
පිරිස ගලා යන වතුරෙන් සබන් දමා තුවාලය සෝදති.
බුදු ගෙයි තව ටිකෙන් අද බිළිඳු මරණයකි.
එක අම්මා කෙනෙකු පටාචාරාව වෙන්නට ගොස් බේරුනේ අනූ නවයෙනි.
මෙහි පහලින් මා ජායාරූප අතර පෙන්වා ඇති තඹපාට ලෝහ වේදිකාව ප්‍රධාන විහාරයේ බුදු කුටියේ මුණිඳු පාමුල ඇත්තේ අලුත් උපන් බිළිඳුන් එහි තබා සෙත් කරන්නටය .
ජීවිතය බුදුන්ට පූජා කරන්නටය.
එහෙත් අද උදේ තව ටිකෙන් බුදුන්ට පූජා කරන්නට පෙර ලොම් හැලුනු බල්ලෙකුට සිය ජීවිතය පූජා කරන්නට ඒ බිළිඳියට සිදු වනු ඇත.
බුදු පිළිමය පාමුළ ලැග සිටි බල්ලෙකු රෝස පාට තුවායකින් ඔතා බුදු පාමුළ තැන්පත් කර සිටි අර රෝස පාට මල් කැකුලේ කකුලකින් අදින්නට පැන්නේය. ඌ හිතන්නට ඇත්තේ ඒ මස් කෑල්ලක් කියාය..
කාගෙදෝ පා පහරක් කා "කුඥාව්..කුඥාව් " කියා කෑ ගසා දුවන්නට ඌට සිදු වූයේ පොඩි කෙල්ලගේ වාසනාවටට.
දහස් ගාණක් සෙනග අතරේ,අද දහම් පාසල් දිනයක් නිසා සිය ගාණක් දහම් පාසල් සිසුන්ද සිටියහ.ඒ අතරේ සිය ගාණක් බල්ලෝය.
මුළු කැළණිය පන්සලම දැන් බලු රාජධානියකි.
සිල් ගෙන මළුවේ වාඩිවී සිටි උපාසක අම්මා කෙනෙක් බල්ලෙක් පසු පස එලවයි.
"මේක මං උදේට ගෙනාපු දානෙ උස්සං දුවනව" දුප් දුප් ...පර බල්ලා..එහි එකම කලබලයකි.
"පර "යනු තමන්ගේ නොවන බව හඟවන පදයකි.
පහුගිය වසරේදීද එක් දරුවකු" කැළණි බල්ලෙක්" දරුණු ලෙස හපා කා මොහොතකින් මම කැළණි විහාරයේ වගකිව යුතු හිමි නමකගෙන් මෙසේ ඇසුවෙමි.
"හාමුදුරුවනේ..මෙහෙ බල්ලො වැහි වැහැලනේ"
"මොකක් කරන්නද මහත්තයෝ..අපිත් අසරණයි මේ අපේ බල්ලො නෙවෙයි.පර බල්ලො ගෙනත් දාන්නෙ මිනිස්සු.කන්න බොන්න දෙන්නෙ .පවු පවු කිය කියා මිනිස්සුමයි.. මේක හරි කරදරයක් අපටත් මහත්තයෝ...
ඒ විතරක් නෙවෙයි...මේ බලු කරදරේ ගැන
මේ පලාතෙ සෞඛ්‍ය ,පරිපාලන බලධාරීන්ට කියලම අපේ කට රිදෙනව."
යලිත් අද සිදුවීමක් කියමි.
අද අපි දළ එහෙන් මෙහෙන් ගණන් කරද්දි චෛත්‍ය මළුවේත් ,අවට ත් බල්ලෝ 128 ක් සිටියහ. මේ ගාණ මීට තුන් හතර ගුණයකින් වැඩි වන්නට මිස අඩු වන්නට ඉඩක් නැත.
බල්ලෙක්ගේ නගුට පෑගුණු නිසා වයස අවුරුදු විසි එකක පමණ තරුණියකගේ වළලු කර මාළු කටක් සේ ඇරී "ගොජ ගොජ "ගා ලේ ගලයි.
මාලාකාර මල්ලී කෙනෙක් තුවාලයට වතුර වක් කරමින් කීවේ බය හිතෙන කතාවකි.
"මාසෙකට සීයක් දෙසීයක් විතර මේ පන්සලේ දී බල්ලො හපනව..මෙහෙ කාටවත් ඒක ගාණක් නෑ මහත්තයො.මේ බල්ලො එකෙකුටවත් ඉන්ජෙක්ෂන් ගහලත් නෑ..කෑවොත් පිස්සු බලු ලෙඩෙන් මැරෙන්න තමා වෙන්නෙ."
ඒ අතරේ සෞඛ්‍ය අංශවල වාර්තා මට මැවී පෙනී නොපෙනී ගියේය.
"මාසෙකට ලක්ෂ ගාණක් බල්ලො හපා කාල අපේ සායන වලට එනව. කෝටි ගාණක බේත් විදිනව.තාමත් ජලභීතිකා මරණ වෙනව අපේ රටේ.ඒව කවුරුත් ගණන් ගන්නෙ නෑ..ඒ නිකරුණේ වියදම් වෙන්නෙ වැඩි හරියක් දඩාවතේ යන බල්ලො හපා කාල ප්‍රතිකාර කරන්න සල්ලි..මේක ඉවරයක් නෑ." ජලභීතිකා සායනයේ දොස්තර මහතා කීවේ දීර්ඝ සුසුමක් හෙලමිනි.
හෙට (06)වප් පෝය දිනයයි.
පෝයට කැළණි පන්සල සූදානම් කර ඇත.
පෝයට සූදානමින් ලක්ෂ ගාණක් වැය කර ඇත.තැනක ලොකු ඩිජිටල් තිරය.
බල්බ් වැල්‍ ය
එහෙත් ,බලු ප්‍රශ්නය විසඳන්නට "එක බල්ලෙක් "නැත.
මේ බල්ලන් පටවාගෙන ගොස් මරා දමන්නට කියා අපි නොකියමු.එවැන්නක් අපේ තුන් හිතකවත් නැත.ඒත් බල්ලන්ට ආදරේ කරන බලු සුබසාධන රාජ්‍ය නොවන ආයතන (NGO)හා පුද්ගලයින් අපේ රටේ එමටය.ඔවුන්ට කියා මේ බල්ලන්ට වාසස්ථාන සොයා දීමටවත් අපට නොහැකිද ? ඒ බලු සුබසාධන ,සත්ව අවිහිංසා සංවිධාන මේ කැළණි බලු අනතුර පිටු දකින්නට වැඩක් කරන්නේ නම් ජනතාවත් අත් උස්සා සහාය දෙනු ඇත ...
පෝයට සැකසූ කැනපි යට ලැග ගෙන ඉන්නා බලු රංචුවක එකෙක් මළුවේ ඇති ලක්ෂ ගාණක් වටිනා ඩිජිටල් තිරයකට චූ කර උඩු බුරනවා දුටුවෙමි.
"වරෙල්ලකො හෙට පෝයට..අපි හපා කනවා තොපිව ..අනිවා......හූ..ඌ...."
ඌ කීවේ එසේ විය හැකිය.
පෙර කල සිට කැළණිය ප්‍රසිද්ධ නයින්ටය.
දැන් බල්ලන්ටය .

අහෝ බල්ලට ගිය කැළණිය.!!
ජානක සුනෙත් බණ්ඩාර

සමාජ මාධ්‍යයෙන් උපුටා ගන්නා ලදී