ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිගත නොහැකි බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද ප්‍රකාශ කළා.

ඒ, විශ්වාසභංග යෝජනාව පිළිබඳ සිය තීරණය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්.

එහිදී කථානායකවරයා පැවසුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව එම විශ්වාසභංග යෝජනාව නොගැලපෙන බැවින් සහ එය නිසි පිළිවෙලකට නොමැති වීම හේතුවෙන් තමාට එය පිළිගත නොහැකි බවයි.

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා ස්ථාවර නියෝග යටතේ මෙලෙස අදහස් පළ කළා.

මෙහිදී විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස මහතා ද කථානායකවරයාගේ තීරණයට අදාළව අදහසක් ප්‍රකාශ කිරීමට අවස්ථාව ඉල්ලා සිටි නමුත් එහිදී කතානායකවරයා පවසා සිටියේ, මෙය විවාදයක් නොවන බවයි.

එහිදී පාර්ලිමේන්තුව තුළ උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර විපක්ෂ නායකවරයා යළි අදහස් පළ කළා.

 

පසුව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා සභාවේ අදහස් පළ කළා.

මේ, ඊට ප්‍රතිචාර දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා.

පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. නිසාම් කාරියප්පර් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා අදහස් පළ කළා.

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකරට එරෙහි විපක්ෂයේ විශ්වාසභංග යෝජනාව කතානායකවරයාට භාරදුන්නේ පසුගිය අගෝස්තු මස 12 වනදායි.

මේ අතර ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත මේ වන විට පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනෙනවා.

ඒ අනුව පස්වරු 03.30 දක්වා එම පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වෙනු ඇති.