මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදු කරන විමර්ශනයකට අදාළව අත් අඩංගුවට ගත් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණියන් දෙදෙනෙකු සහ ඔහුගේ බෑනා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය විසින් මෙම නියෝගය නිකුත් කළා.
අල්ලස් කොමිසම මගින් අත් අඩංගුවට ගන්නා ලද කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණියන් වන චමිත්‍රී ජයනිකා රඹුක්වැල්ල , අමලි නයනිකා රඹුක්වැල්ල සහ ඇයගේ සැමියා වන ඉසුරු පුලස්ති බණ්ඩාර යන අය අධිකරණයට ඉදිරිපත් කළා.
එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි අංශය විසින් කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පවුලේ සාමාජිකයන්ගේ සැක
කටයුතු බැංකු ගිණුම් පිළිබඳව ඉදිරිපත් කළ තොරතුරු පදනම් කරගෙන මෙම විමර්ශන ආරම්භ කළ බව සඳහන් කළා.
ඒ අනුව සැකකරුවන්ට අයත් ස්ථාවර තැන්පතු ගිණුම් 16 ක් සහ ජීවිත රක්ෂණ ඔප්පු පහක් මහාධිකරණ නියෝග මත තහනමට ලක් කර තිබෙන බවත් ඒවායේ වටිනාකම රුපියල් මිලියන 97 කට අධික බවත් එම නිලධාරියා සඳහන් කළා.
ඊට අමතරව ඉසුරු පුලස්ති බණ්ඩාර නමැති සැකකරුට අයත් mercedes benz වර්ගය මෝටර් රථයක් තහනමට ගෙන තිබෙන බවත් එම නිලධාරීයා අධිකරණයට දැනුම් දුන්නා.
ඒ අනුව මෙම සැකකරුවන් මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කිරීම සඳහා ආධාර අනුබලදීම හා කුමන්ත්‍රණය කිරීමේ යන චෝදනා යටතේ එම වරද කියා දී අද පෙරවරුවේ අත්අඩංගුවට ගත් බවත් අල්ලස් කොමිසමේ නිලධාරීන් සඳහන් කළා.
මෙම විමර්ශන කටයුතු තවදුරටත් පැවැත්වෙන බැවින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ.
ඉන් අනතුරුව සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ කාංචන රත්වත්තේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් සැකකරුවන් තුන් දෙනෙකුට ඊයේ දින අධිකරණය විසින් ඇප ලබාදී තිබෙන බව සඳහන් කළා.
මෙම නඩුවේ පළමුවන සැකකාර හිටපු අමාත්‍ය කෙහෙළි රඹුක්වැල්ල මහතා විසින් මැණික් පතලක් පවත්වාගෙන ගිය බව ඊයේ දින තමා අධිකරණය හමුවේ සඳහන් කළ බව කී නීතිඥවරයා එම මැණික් පතලට අදාල බදු ගිවිසුම මෙන්ම මැණික් වෙන්දේසි කිරීමෙන් අනතුරුව ස්වර්ණාභරණ අධිකාරියට සිදුකළ බදු ගෙවීම් වලට අදාළ සියලු ලේඛන අද දින අධිකරණයට ඉදිරිපත් කරන බවත් පැවසුවා.
ඉන් අනතුරුව එම ලේඛන නීතිඥවරයා විසින් අධිකරණයට භාරදුන්නා.