රුපියල් මිලියන 97 කට අධික වත්කම් හා මුදල් අයථා ලෙස උපයා ගත්තේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල , ඔහුගේ බිරිඳ, දියණියන් තුන්දෙනා සහ බෑනාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව සැප්තැම්බර් මස 10 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා. මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවුර ලැබුවා. එහිදී අල්ලස් කොමිසම විසින් ලේඛන සමහරක් විත්තියට ලබා දුන්නා. එහිදී විනිසුරුවරිය විසින් අල්ලස් කොමිසමට නියම කළේ විත්තිකරුවන් විසින් ඉල්ලා සිටින ලේඛන තිබේ නම් ඒවා පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ආරම්භ වීමට පෙර ඔවුන් වෙත ලබාදීමට කටයුතු කරන ලෙසයි. සාක්ෂි විභාගය ආරම්භ කිරීමට පෙර තමන්ට අවශ්‍ය කරන ලේඛන මොනවාදැයි ලැයිස්තුවක් පැමිණිල්ලට හා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් විනිසුරු වරිය විසින් විත්තියේ නීතිඥවරුන්ට දැනුම් දුන්නා. අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරණීය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට අදාළව ඉදිරිපත් වී තිබෙන ලේඛනවල සඳහන් කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ අත්සන් සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තා කැඳවීමට කටයුතු කර ඇතැයි සඳහන් කළා. එම රස පරීක්ෂක වාර්තා ලැබීමට කොපමණ කාලයක් ගතවන්නේ දැයි මීළඟ දින අධිකරණයට දැනුම් දෙන ලෙසත් විනිසුරුවරිය විසින් අල්ලස් කොමිසමේ නිලධාරිනියට දැනුම් දුන්නා. ඉන් අනතුරුව නඩුව සැප්තැම්බර් මස 10 වනදා කැඳවීමටද අධිකරණය නියම කළා. මෙම නඩුවේ ඊයේ විත්තිකරුවන් ලෙස හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ වන කුසුම් ප්‍රියදර්ශනී ඈපා, දියණියන් තිදෙනා වන චමිත්‍රී ජයනිකා රඹුක්වැල්ල, චන්දුලා රමාලි රඹුක්වැල්ල, අමාලි නයනිකා රඹුක්වැල්ල, බෑනා වන ඉසුරු පුලස්ති බණ්ඩාර යන අය නම් කර සිටිනවා. 2020 අගෝස්තු 13 සහ 2024 ජූනි 24 අතර කාල සීමාව තුළ රුපියල් මිලියන 97 කට අධික ස්ථාවර තැන්පතු ගිණුම්, ජීවිත රක්ෂණ ඔප්පු සහ වත්කම් අයථා ලෙස උපයා ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළ යැයි චෝදනා කොට අල්ලස් කොමිසම විසින් විත්තිකරුවන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.