Published
ඉකුත් රජය සමයේ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීම තුළින් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළේ යැයි කියන චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් ඇප මත මුදා හරින ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළා.
ඉන් අනතුරුව එක් එක් විත්තිකරු රුපියල් ලක්ෂ 05 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළා.
විත්තිකරුවන්ගේ විදේශ ගමන් තහනම් කළ අධිකරණය ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාර දිය යුතු බවත් නියම කළා.
ඊට අමතරව නඩු විභාගය පැවැත්වෙන අතරතුර විත්තිකරුවන් අසනීප තත්ත්වයකට පත් වුවහොත් ඊට අදාළ වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවටත් තවත් නියෝගයක් නිකුත් කළා.
විත්තිකරුවන් සියලු දෙනා ලබන 26 වනදා ඇඟිලි සලකුණු ලබා දිය යුතු බවත් එදිනට පෙර සියලු ඇප කොන්දේසි සම්පූර්ණ කළ යුතු බවත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විත්තියේ නීතිඥවරුන්ට නියම කළා.
අදාළ චෝදනා සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ විත්තිකරුවන්ට අද කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අධි චෝදනා භාර දුන්නා.
මහේෂ් වීරමන්, ප්‍රදීප් අබේරත්න සහ අමාලි රණවීර යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම අධි චෝදනා භාර දීම සිදු වුණා.
මෙම අධිචෝදනා වලට අදාල ලේඛන ගොනු විශාල සංඛ්‍යාවක් අධිකරණයට රැගෙන විත් තිබූ අතර නඩු විභාගයෙන් අනතුරුව මෙම ගොනු විත්තියේ නීතිඥවරුන්ගේ කනිෂ්ඨ නීතිඥවරුන්ට ඒවා ලබා දෙන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය කියා සිටියා.
ඉන් අනතුරුව විත්තිකරුවන්ට අධි චෝදනා පත්‍ර භාරදෙන ලෙස ඉල්ලා සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය මෙම විත්තිකරුවන් ඇප මත මුදා හැරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විරුද්ධ වන බවත් අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.
එම ඉල්ලීමට දැඩි විරෝධය පළ කළ විත්තියේ නීතිඥවරු තම සේවාදායකයින්ට දැනටමත් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප නියම කර තිබෙන බව පෙන්වා දුන්නා.
එහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරුවරයා රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය වෙත ප්‍රශ්නයක් යොමු කරමින් මෙම විත්තිකරුවන් ඇප කොන්දේසි උල්ලංගනය කරමින් කටයුතු කර තිබේ දැයි විමසුවා.
ඊට පිළිතුරු දුන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය
" ස්වාමීනි... අපරාධ නඩු විධාන සංග්‍රහයේ 450(6) වගන්තිය ප්‍රකාරව මෙවැනි ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩු පැවරී තිබෙන අවස්ථාවක විත්තිකරුවන්ට ඇප ප්‍රදානය කිරීම සඳහා නීතිපතිවරයාගේ අනුමැතිය හිමි විය යූතුයි. මෙය මහජන කැළඹීමක් සහිත නඩුවක්. ඒ නිසා මෙම විත්තිකරුවන් ඇප මත මුදා හැරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විරුද්ධ වන බව මා දැනුම් දෙනවා. මෙම විත්තිකරුවන්ට චෝදනා ඉදිරිපත් කර තිබෙන්නේ පොදු දේපල පනත යටතේ. එම පනතේ 8(1) වගන්තිය යටතේ විත්තිකරුවකු ඇප මත මුදා හැරීම සිදු කළ හැක්කේ අසාමාන්‍ය කරුණු උද්ගත වන අවස්ථාවක පමණයි. එම නිසා ඔබ තුමන්ලට ඇප සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේදී එම වගන්තිය යටතේ අසාමාන්‍ය කරුණු උද්ගත වී තිබේ දැයි සලකා බැලිය යුතුයි. මෙම විත්තිකරුවන්ට මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප නියම කර තිබුණත් ඔබ තුමන්ලා එම නියෝගයෙන් ප්‍රති බන්ධනය වෙන්නේ නෑ" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය දැනුම් දුන්නා.
එම අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සදහන් කළේ තමන්ට මෙම ඇප ඉල්ලීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට සැලකිය යුතු කාලයක් හිමිවිය යුතු බවයි.
එම නිසා විත්තිකරුවන්ට අධි චෝදනා භාරදීම කල් දමන ලෙසත් විත්තියේ නීතිඥවරු සදහන් කළා.
එම අවස්ථාවේදී ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු මහේෂ් වීරමන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් " මම ඉදිරි දිනයක විශ්‍රාම යනවා. මගේ සහෝදර විනිසුරු තුමා තංගල්ලට මාරුවීමත් ලබා තිබෙනවා. ඒ නිසා ඇගේ විනිසුරු තුමා සුදුසු විනිසුරුවරු නම් කළ පසු මෙම ඉල්ලීම කිරීම සුදුසුයි. මොකද මෙතන විත්තිකරුවන් 12 දෙනෙක් සිටිනවා. ඇප ඉල්ලීම් සම්බන්ධයෙන් කරුණු දක්වන්න විත්තියේ නීතිඥවරුන්ට සාධාරණ කාලයක් ලබාදිය යුතුයි. නමුත් අද දින එය ප්‍රායෝගිකව කරන්න පුළුවන්ද? කියන ප්‍රශ්නය මතු වෙනවා." යනුවෙන් සඳහන් කළා.
කෙසේ වෙතත් ඉන් අනතුරුව විත්තිකරුවන්ට විවෘත අධිකරණයේදී අධි චෝදනා භාර දීම සිදු වුණා.
අධි චෝදනා භාර දීමෙන් අනතුරුව විත්තිකාර වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්
" ස්වාමීනි... මෙම අවස්ථාවේදී ඇප ඉල්ලීම පිළිබඳව කරුණු සලකා බලන්න බෑ. මොකද මෑතකදී සිදු කළ නීති සංශෝධනයට අනුව මෙම නඩුව සදහා පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයක් පැවැත්විය යුතුයි. එම පූර්ව නඩු විධාන සම්මන්ත්‍රණ මේ දක්වා පවත්වා නෑ. එම නිසා මෙම නඩුව විභාගයට ගන්නා දිනය නියම කරන්න ඔබ තුමන්ලට හැකියාවක් නෑ. විත්තිකරුවන්ගේ ඇප ඉල්ලීම් වලට විරුද්ධ වීමට නම් ඔවුන් ඇප කොන්දේසි උල්ලංගනය කර තිබිය යුතුයි. එවැනි තත්ත්වයක් මෙම විත්තිකරු සම්බන්ධයෙන් උද්ගත වී නැහැ. මගේ සේවා දායකයාට ඇප ලබා දූන්නේ අභියාචනාධිකරණයේ නියෝගයකට අනුවයි. අභියාචනාධිකරණයේ එම ස්වර්ණමය වචන වලට ඉහලින් යන්න මගේ උගත් මිතුරියට පූළුවන් ද? නීතිපතිවරයා ඇයි මෙහෙම කටයුතු කරන්නේ " යනුවෙන් සඳහන් කළ ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතා සිය සේවාදායකයා ඇප මත මුදා හරින ලෙස ඉල්ලා සිටියා.
මෙම නඩුවේ තවත් විත්තිකරුවකු වන ජනක චන්ද්‍රගුප්ත මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් " ස්වාමීනි.. මෙම නඩුවේ සාක්ෂිකරුවන් 293 දෙනෙකු සිටිනවා. ලේඛන 349 ක් තිබෙනවා. මෙවැනි සංකීර්ණ නඩුවක් සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීම සඳහා විත්තිකරු ඇප මත සිටිය යුතුයි. විත්තිකරු රිමාන්ඩ් භාරයට පත් වුනොත් ඔහුට සාධාරණ නඩු විභාගයක් ලබා ගැනීමට තිබෙන අවස්ථාව අහිමි වෙනවා. " යනුවෙන් සදහන් කළ විත්තියේ නීතිඥවරයා විත්තිකරු ඇප මත මුදා හරින ලෙස ඉල්ලා සිටියා.
විත්තිකාර හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් " මෙම නඩුවේ විත්තිකරුවන්ට මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබා දුන්නේ සූවිශේෂ හේතු ඉදිරිපත් වීම නිසයි. එම නියෝග වලට නීතිපතිවරයා ඒ අවස්ථාවේදී විරුද්ධ වුණේ නැහැ. පහත් මානසික තෘප්තියක් ලැබීමේ අරමුණින් පුද්ගලයින් රිමාන්ඩ් කිරීම සුදුසු නැහැ. මගේ සේවාදායකයාට මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප හිමි වුණේ වෛද්‍යවරු 21 දෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය මණ්ඩලයක් ඉදිරිපත් කළ වාර්තාවකට අනුවයි. එම වෛද්‍ය මණ්ඩලය තුළ අධිකරණ වෛද්‍ය නිලධාරීන් තුන් දෙනෙක් හිටියා. අධිකරණයට කිසිම කරුණක් ඉදිරිපත් වෙලා නෑ මගේ සේවාදායකයා ඇප කොන්දේසි කඩ කළ බවට. ඒ වගේම ඔහුගේ රෝගී තත්ත්වය සුවිශේෂී කරුණ ලෙස මහේස්ත්‍රාත් අධිකරණය දැනටමත් පිළිගෙන තිබෙනවා " යනුවෙන් සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා මෙම පහත් ගනයේ ඉල්ලීම ඉවත් දමමින් සිය සේවාදායකයා ඇප මත මුදා හරින ලෙස ඉල්ලා සිටියා.
තවත් විත්තිකරුවකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් " ස්වාමීනි...මේ නඩුවේ විත්තිකරුවන්ගේ ඇප ඉල්ලීමට විරුද්ධ වීමට නීතිපතිවරයා ගෙන තිබෙන ස්ථාවරය අසාමාන්‍ය කරුණක් ලෙස සදහන් කරන්න පුළුවන්. මෙම නඩුකරය ඉදිරිපත් කර තිබෙන්නේ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ. එතැනදි අපරාධ නඩු විධාන සංග්‍රහයේ 450(6) වගන්තිය යටතේ නීතිපතිවරයාට ලැබෙන බලය සීමා වෙනවා. එම වගන්තිය මෙම අවස්ථාවේදී අදාළ කර ගන්න බෑ. මෙම විත්තිකරුගේ ඇප අහෝසි කිරීමට තරම් සාධාරණ කරුණු පැමිණිල්ල විසින් අධිකරණයට ඉදිරිපත් කර නෑ. මේ විත්තිකරුවන් රිමාන්ඩ් භාරයට පත් කිරීමෙන් ඔවුන්ට සාධාරණ නඩු විභාගයක් ලබා ගැනීමට තිබෙන අවස්ථාව අහිමි වෙනවා." යනුවෙන් සඳහන් කළ ජනාධිපති නීතිඥ තම සේවා දායකයා ඇප මත මුදා හරින ලෙස ඉල්ලා සිටියා.
තවත් විත්තිකරුවකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් " මගේ සේවාදායකයා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් සූවිශේෂි හේතු මත ඇප ප්‍රදානය කළා. එම ඇප නියෝගයකට නීතිපතිවරයා විරුද්ධ වුණේ නැහැ. ඒක ප්‍රතිශෝධනය කරන්න කියලා ඉල්ලුවෙත් නෑ. එම ඇප කොන්දේසි මගේ සේවාදායකයා උල්ලංඝනය කර නෑ. මගේ සේවාදායකයා හෘද රෝගයෙන් පෙළෙන බන්ධනාගාර ගත වුණොත් ජිවිත අවධානමක් තිබෙන පුද්ගලයෙක්. බන්ධනාගාරය තුළ ගිලන් රථය තිබෙන්නේ කිලෝමීටරයක් පමණ දුරින්. ඊ.සී.ජී යන්ත්‍රය ක්‍රියාත්මක කරන්නේ සිරකරුවෙක්. ප්‍රමාණවත් ඖෂධ නෑ. ඔබ තුමන්ලාට මතක තිබෙනවාද ඇප දීපු මිනිහෙක්ව කිසිම හේතුවක් නැතිව රිමාන්ඩ් කරන්න ඉල්ලන අවස්ථාවක්. නීතියේ සමබරතාවය මුල් දවසේ සිට නඩුවක් තිබිය යුතුයි. විත්තිකරු රිමාන්ඩ් කිරීමෙන් ඔහුට සාධාරණ නඩු විභාගයක් ලබා ගැනීමට තිබෙන අවස්ථාව අහිමි වෙනවා. මේ නඩුව සමග විශාල ලේඛන සංඛ්‍යාවක් දීලා තියෙනවා. ඒවා රැගෙන යන්න වීල් බැරැක්කයක් අවශ්‍යයි. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය කියනවා මේ ලේඛන අපේ කනිෂ්ඨ නීතිඥවරුන්ට රැගෙන යන්න කියලා. එහෙම කරන්න බෑ. මේ ලේඛන ගොනු දිය යුත්තේ විත්තිකරුවන්ට. නීතිඥවරුන්ට ඒවා ගෙනියන්න බෑ. මේවා ප්‍රායෝගික නෑ."
යනුවෙන් සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා අනතුරුව සිය සේවා දායකයා ඇප මත මුදා හරින ලෙස ඉල්ලා සිටියා.
ඉන් අනතුරුව විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ගේ කරුණු දැක්වීම් වලට ප්‍රතිචාර දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය කියා සිටියේ නීතිපතිවරයා හෝ විමර්ශන නිලධාරීන් පරපීඩක චේතනාවකින් කටයුතු කරන බවට විත්තිය එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව සඳහන් කළා.
මෙම නඩූකරය තුළින් චෝදනා එල්ල කර තිබෙන්නේ මහජන මුදල් අවභාවිතා කිරීමක් සම්බන්ධයෙන් බවත් නීතිපතිවරයා පොදු ජනයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිමින් මෙම නඩුව මෙහෙයවන බවත් ඇය සඳහන් කර සිටියා.
මෙම විත්තිකරුවන්ට මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප නියම කර තිබුණත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම නඩුව ඉදිරිපත් කිරිමත් සමග එම ඇපය අදාළ නොවන බවත් ඇය පෙන්වා දුන්නා.
මෙම විත්තිකරුවන්ට රෝගී තත්ත්වයන් පවතින බවට විත්තියේ නීතිඥවරු ප්‍රකාශ කළත් එම රෝගාබාධ වලට බන්ධනාගාර රෝහලේ දී හෝ ජාතික රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකි බවට කිසිදු වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් වී නොමැති බවත් ඇය කියා සිටියා.
මෙහිදී විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා ප්‍රශ්නයක් යොමු කරමින් " මෙතන එක් විත්තිකරුවකුට ලේඛන 1000 ක් පමණ ගොනුවක් තිබෙනවා. ඔවුන් රිමාන්ඩ් භාරයට පත් කළොත් ඔවුන් ඒවා රැගෙන යන්නේ කොහොමද? නීතිඥවරුන්ට උපදෙස් දෙන්නේ කොහොමද? නීතිඥවරුන් බන්ධනාගාරයට කැදවා උපදෙස් දීම කොයි තරම් ප්‍රායෝගිකද? ඒක ප්‍රායෝගිකයි කියලා පැමිණිල්ල හිතනවාද? විත්තිකරුවන්ට සාධාරණ නඩූ විභාගයක් ලබා දිය යුතුයි නේද?" යනුවෙන් විමසා සිටියා.
ඊට ප්‍රතිචාර දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය" ස්වාමීනි.. මේක අසාමාන්‍ය කරුණක් නෙවෙයි. ලේඛන විශාල සංඛ්‍යාවක් තිබෙන එකම නඩුව මේ නඩුව විතරක් නෙවෙයි. සාක්ෂිකරුවන් විශාල සංඛ්‍යාවක් සිටීම සහ ලේඛන විශාල සංඛ්‍යාවක් තිබීම ඇප දීමේදී සුවිශේෂී කරුණක් නොවන බව දැක්වෙන අභියාචනාධිකරණ තීන්දුවකුත් තිබෙනවා" යනුවෙන් කියා සිටියා.
එම අවස්ථාවේදී නැගී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා සඳහන් කළේ තමන් එවැනි නඩු තීන්දුවක් පිළිබඳව නොදන්නා බවයි.
දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විත්තිකරුවන් ඇප මත මුදාහැරීමට නියම කළා.
ඉන් අනතුරුව නඩුව යළි ඔක්තෝර් මස 31 වන දා කැඳවීමටද නියම වුණා.
හියුමන් හියුමන් ඉමියුනොග්ලොබින් සහ රිටොක්සිමැබ් නැමැති ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444ක් වංක ලෙස ව්‍යපහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා 13 ක් එල්ල කර තිබෙනවා.
මෙම නඩුවේ සාක්ෂිකරුවන් අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රණසිංහ, විජයදාස රාජපක්ෂ, නිමල් සිරිපාල සිල්වා මහතා යන හිටපු කැබිනට අමාත්‍යවරු ද ඇතුළත්ව සිටිනවා.



