ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය හැදෑරීම සඳහා දේශීය සිසුන් ඇතුලත් කර නොගැනීමට ගෙන තිබෙන තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිසුන් පිරිසක් විසින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සමථයට පත් කළ හැකි බව දෙපාර්ශවයේ නීතිඥවරු අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

ඒ මෙම පෙත්සම අද අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු, මහින්ද සමය වර්ධන සහ මේනකා විජේසුන්දර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියෙහි කැඳවනු ලැබු අවස්ථාවේදීයි.

එහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ හෆිල් ෆාරිස් මහතා අධිකරණය හමුවේ කියා සිටියේ මෙම නඩුකරය සමථයට පත් කිරීමට හැකියාව තිබෙන බවයි.

අදාළ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය සඳහා දේශීය සිසුන්ට ද ඇතුළත් වීමට අවසර ලබා දෙමින් වග උත්තරකරුවන් විසින් නිවේදනයක් නිකුත් කර තිබෙන බව නීතිඥවරයා සඳහන් කළා.

ඒ අනුව මෙම පෙත්සම සමථයට පත් කළ හැකි බවත් ඒ සම්බන්ධයෙන් තම සේවා දායකයින්ගෙන් ලිඛිත උපදෙස් ලබා ගෙන කරුණු දැක්වීම සඳහා දිනයක් ලබා දෙන ලෙසත් නීතිඥවරයා අදිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීමට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නිර්මලන් විග්නේශ්වරන් මහතාද එකඟතාවය පළ කළා.

ඒ අනුව මෙම පෙත්සම සමථයට පත් කිරීම සඳහා පෙත්සම්කරුවන්ගේ ලිඛිතව උපදෙස් ලබාගෙන දැක්වීම සඳහා ලබන 24 වනදා කැඳවන ලෙසත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කළා.

ෆාතිමා අබ්දුල් ෆලීල්, දුලන්ක ද සිල්වා ඇතුළු සිසු සිසුවියන් පස් දෙනෙකු විසින් පෙත්සම ඉදිරිපත් කළ අතර එහි වගඋත්තරකරුවන් ලෙස ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ සනාතන සභාව ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ තමන් 2025 /26 යන අධ්‍යයන වර්ෂ සඳහා ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා උපාධිය හැදෑරීම සඳහා බලාපොරොත්තුවෙන් සිටි බවයි.

2024 වසරේදි අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයකට අනුව දේශීය සිසුන්ට මුදල් ගෙවා මෙම විශ්ව විද්‍යාලයේ වෛද්‍ය උපාධි හැදෑරීමේ අවස්ථාව ලබාගත හැකි බව දැනුම් දී තිබූ අතර ඒ අනුව තමන් ද ඊට ඇතුළු වීමට බලාපොරොත්තුවෙන් සිටි බව පෙත්සම්කරුවෝ සඳහන් කළා.

මේ අතර ඉකුත් දා නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කරමින් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධි හැදෑරීම සඳහා විදේශීය සිසුන් සහ ශිෂ්‍ය භට නිලධාරීන් ලෙස බඳවාගන්නා සිසුන් හැර දේශීය සිසුන් බදවා නොගන්නා බවට තීරණය කර ඇතැයි සඳහන් කර තිබූ බව පෙත්සම්කරුවෝ සඳහන් කරයි.

ඉන් අනතුරුව ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල වෙබ් අඩවිය තුලින් දේශීය සිසුන් වෛද්‍ය විද්‍යා උපාධිය සඳහා බදවා නොගන්නා බවට දැනුම් දීමක් සිදුකර තිබූ බවත් ඔවුන් චෝදනා කළා.

මේ තුළින් අදාළ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය උපාධිය හැදෑරීමට අපේක්ෂාවෙන් සිටි තමන්ට දැඩි අසාධාරණයක් සිදු වන බවත් මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංගනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩි දුරටත් ඉල්ලා සිටි.

 

උදයකුමාර