කොස්ගම, බොරළුගොඩ – පාලම් තරාදිය අසලදී අද අලුයම සිදු වූ වෙඩි තැබීමෙන් කුඩා දරුවෙක් ඇතුළු තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

ඊයේ රාත්‍රියේ හංවැල්ල ප්‍රදේශයේ පැවති සංගීත ප්‍රසංගයක් නරඹා ආපසු අවිස්සාවේල්ල බලා ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පිරිසකට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවටයි මේ වන විට අනාවරණ වී ඇත්තේ.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් විසින් ත්‍රිරෝද රථය නවතා මෙම වෙඩි තැබීම සිදුකර තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් “කොටහැර පොඩ්ඩා” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන 44 හැවිරිදි කඳන ආරච්චිගේ ශ්‍රියන්ත කුමාර නම් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයා තුවාල ලබා ඇති බවයි පොලීසිය පැවසුවේ.

30 හැවිරිදි කාන්තාවක් සහ 12 හැවිරිදි ඇයගේ දියණියද මෙම වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා ඇති බව පොලීසිය පැවසුවා.

අදාළ වෙඩි තැබීම සඳහා මිලි මීටර් 09 වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති බවටද අනාවරණ වී තිබෙනවා.

වෙඩි තැබීම සිදුවූ ස්ථානයට ආසන්නයේ පිහිටි නිවසක ආලින්දයේ ලේ පැල්ලම් කිහිපයක් දක්නට ඇති අතර, වෙඩි පහරට ලක් වූ අයෙකු එම නිවසට ගොස් සැඟවෙන්නට උත්සාහ කර ඇති බවයි පොලීසිය පවසන්නේ.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොස්ගම පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.