ගලෙන්බිඳුණුවැව, ගැටලාව වැවේ තිබී සොයාගත් ජීව උණ්ඩ සහ මැගසින් සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තාවක් කැඳවීමට පොලීසිය තීරණය කර තිබෙනවා. ඒ අනුව අදාල ජීව උණ්ඩ සහ මැගසින් යම් ප්‍රමාණයක් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමු කරන බවයි පොලීසිය පැවසුවේ. ගලෙන්බිදුණුවැව, ගැටලාව වැව ආශ්රිත ප්‍රදේශයේ කුඹුරු යායක වැඩ කළ පුද්ගලයෙකු පා සේදීමට එම වැවට ගිය අවස්ථාවේදී එහි තිබී ටී-56 වර්ගයේ ජීව උණ්ඩ කිහිපයක් දැක තිබුණා. එහිදී ඔහු ඒ සම්බන්ධයෙන් ගලෙන්බිදුණුවැව පොලීසියට දැනුම්දී තිබුණා. ඒ අනුව උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බුද්ධික සිරිවර්ධන මහතාගේ උපදෙස් මත පළමුව පොලිස් කණ්ඩායම් 08ක් එම වැවෙහි සෝදිසි මෙහෙයුමක් සිදුකර තිබෙනවා. එහිදී ටී 56 ජීව උණ්ඩ 7124ක්, මැගසින් 11ක් සහ ඔයිල් බෝතල් 06ක් සොයාගත් බවයි පොලීසිය පැවසුවේ. ඉන් අනතුරුව එම වැව ආශ්රිත ගම්මානයේ ද විශේෂ මෙහෙයුමක් සිදුකර තිබෙනවා. ඊට පොලිස් කණ්ඩායම් 07ක් සහ පොලිස් විශේෂ කාර්ය බලකා කණ්ඩායමක් ද යෙදවූ බවයි පොලීසිය පැවසුවේ. අදාල උණ්ඩ සහ මැගසින් ආරක්ෂක අංශවලට අයත් ඒවාද යන්න සම්බන්ධයෙන් පොලිස් විමර්ශන තවදුරටත් ක්‍රියාත්මකයි.
Published