එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ගාල්ල, මාපලගම අතුල දර්ශනාරාම විහාරස්ථානයට පැමිණ තිබෙනවා
ඒ එම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද නව බෝධි ප්‍රාකාරය සඝ සතු කිරීමේ වැඩසටහනට එක්වෙමින්.
එහිදී පළාත් පාලන ආයතනවල සභාපතිධූර සඳහා පළපුරුද්දක් නොමැති නියෝජිතයින් පත් කළහොත්, පාර්ලිමේන්තුව තුළ සිදුවූ දෙයම පළාත් පාලන ආයතන තුළත් සිදුවේ යැයි එම අවස්ථාවේ පැමිණ සිටි මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසුවා
එසේම පළාත් පාලන ආයතන තුළ ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය යනුවෙන් කොටස් දෙකක් නොමැති බවත් පළාත් පාලන ආයතන තුළ කටයුතු සිදුවන්නේ වෙනම ක්‍රමවේදයකට බවත් ඒ අනුව කටයුතු කරමින් ජනතාවගේ සුබ සිද්ධිය ඉහළ නැංවිය යුතුව ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
ප්‍රශ්නය –
” සභාපතිතුමා මේ දිනවල පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයින් පත් කරමින් යනවා. ඇතැම් ආයතනවල තවම බලය පිහිටුවලා නෑ. මේ සම්බන්ධයෙන් යම් අදහසක් ප්‍රකාශ කරන්න පුලුවන්ද ඔබතුමාට? ”
පිළිතුර –
” පළාත් පාලන ආයතන තුළ ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය කියලා එකක් නැහැ. පළාත් පාලන ආයතන සඳහා මහජන නියෝජිතයින් පත් කළාට පසු බහුතරයේ කැමැත්ත අනුව ක්‍රියාකළ යුතුව තිබෙනවා. උදාහරණයක් හැටියට ගත්තම මෙතැන ඉන්නවා පළාත් පාලන ආයතනවල හිටපු නියෝජිතයින් බොහෝමයක්.
ඉතින් මේ තනතුරුවලට පත් කළ යුතු වන්නේ පළපුරුද්ද තිබෙන අය. නැතිනම් වෙන්නේ පාර්ලිමේන්තුවට වෙච්ච දේමයි. ඒ කියන්නේ පළපුරුද්දක් නොමැති කණ්ඩායමක් මේ දේවල් බාරගත්තම දේශපාලන න්‍යායක් තිබෙනවා, ඒ ආර්ථිකය ගෙනියන්න බෑ කියලා.
ඒ නිසා පළාත් පාලන ආයතන සඳහා ඒ තත්ත්වය ඇති නොකොට පළපුරුදු අය ඒ ඒ සභාවල සභාපතිවරු ලෙස හෝ පළපුරුදු කෙනෙක් සභාපති ධූරයේ කටයුතු කරන ගමන් උපසභාපති ධූරය සඳහා නවක කෙනෙක් පත් කරගත යුතුව තිබෙනවා.
එසේ වුවහොත් බාධාවකින් තොරව එම සභාවල කටයුතු කරගෙන යා හැකි බව අපේ විශ්වාසයයි. ඉතින් ඒ ආකාරයට තමයි ඉදිරි දින තුළ කටයුතු කළ යුතුව තිබෙන්නේ.
මම හිටපු පළාත් පාලන සහ පළාත් සභා ඇමතිවරයා. මම ඇමතිවරයාව සිටියදී ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සියල්ලක්ම තිබුණේ පොහොට්ටුව සතුව. මුළු දිවයිනම ගත්තත් බහුතරයක් සභාපති ධූර තිබුනේ පොහොට්ටුව සතුව.
නමුත් මම පොහොට්ටුවේ සභාපතිවරු සහ උපසභාපතිවරු සියල්ලටම එන්න කියලා අමාත්‍යාංශයෙන් ඒ ඒ පළාත් පාලන සඳහා වෙන් කර තිබු මුදල් ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් යොදවන්න කියලා ඔවුන්ට උපදෙස් ලබාදුන්නා. මම නම් හිතන්නේ එය තමයි විය යුත්තේ.
එහෙම නැතිව තමන්ගේ බලය අනුව ක්‍රියා කිරීම නෙමෙයි සිදුවිය යුත්තේ.
පළාත් පාලන ආයතන සඳහා මුදල් වෙන් කිරීමේදී ඒවාට වෙනම ක්‍රමවේදයක් තිබෙනවා.
ඉතින් ඒ ආකාරයට ඒ ආයතන ක්‍රියාත්මක විය යුතුව තිබෙනවා.
ඒ ආකාරයට මුදල් වෙන් නොකළොත්, ඒ පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය ආයතන දැනුවත් වුවහොත් ජාත්‍යන්තර මූල්‍ය ආයතන කල්පනා කරයි වත්මන් ආණ්ඩුව විසින් මුදල් නිර්නායකය උල්ලංඝනය කලා කියලා.
නමුත් මම හිතන්නේ නෑ ආණ්ඩුව ඒ තත්ත්වයට පත් වෙයි කියලා. ”
ගාල්ල, මාපලගම අතුල දර්ශනාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී පුජ්‍ය මාපලගම ධම්මික හිමිපාණන්ගේ අනුශාසකත්වයෙන්, වජිර අබේවර්ධන මහතා ඇතුළු එම පවුලේ සහ මාපලගම ප්‍රදේශවාසී සැදැහැවත් දායක කාරකාදීන්ගේ සහයෝගයෙන් නව බෝධි ප්‍රාකාරය ඉදිකර තිබුණා