ගාසා තීරයේ සටන් විරාමය සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමේ සැලැස්ම අනුමත කළ බව ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලය නිවේදනය කර තිබෙනවා.
එහි දැක්වෙන්නේ මෙය ගාසා යුද්ධයේ තීරණාත්මක සංධිස්ථානයක් බවයි.
ඒ අනුව ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය ඊජිප්තුවේදී සටන් විරාම ගිවිසුමකට අත්සන් තැබීමක් ද සිදුකර තිබෙනවා.
සටන් විරාමය සහ ප්‍රාණ ඇපකරුවන් ඇතුළත් මෙම ගිවිසමේ පළමු අදියරේදී ඊශ්‍රායලය විසින් පලස්තීන සිරකරුවන් සිය ගණනක් නිදහස් කරනු ඇති.
ඊශ්‍රායල් හමුදා ගාසා තීරයේ කොටස්වලින් ඉවත් වෙමින් ඇති අතර ආධාර රැගත් ට්‍රක් රථ සිය ගණනක් දැනටමත් ගාසා තීරයට ඇතුළු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් සඳුදා හෝ අඟහරුවාදා නිදහස් කළ හැකි වනු බවයි.
ගිවිසුම යටතේ කඩිනමින් සිදුවන කරුණු 04ක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ගාසා තීරයේ සටන් විරාමයක්, ඊශ්‍රායල හමුදා ඉවත් වීම, ප්‍රාණ ඇපකරුවන් සහ මළ සිරුරු හුවමාරුව හා මානුෂීය ආධාර ගාසා තීරයට ඇතුළු වීමට ඉඩ සැලසීම එම කරුණු හතරයි.
මෙම කාලය තුළ හමාස් සංවිධානය විසින් දැනට ජීවතුන් අතර සිටින බවට විශ්වාස කරන ප්‍රාණ ඇපකරුවන් 20 දෙනාම නිදහස් කළ යුතු අතර මියගිය ප්‍රාණ ඇපකරුවන් 28 දෙනාගේ සිරුරු ආපසු ලබා දීම සිදුකළ යුතුයි.
ඊශ්‍රායල බන්ධනාගාරවල ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳිමින් සිටින පලස්තීන සිරකරුවන් 250ක් සහ ගාසා තීරයේ රැඳවියන් 1,700ක් ඊශ්‍රායලය විසින් පසුව නිදහස් කිරීමට නියමිතයි.