හම්බන්තොට, මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ පරිශ්‍රය තුළ වනජීවී කාර්යාලයක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ, එම ගුවන්තොටුපළ පරිශ්‍රය තුළට වන අලි වරින් වර ඇතුල් වීම මෙන්ම එහි පිවිසුම් මාර්ග හරහා ගමන් කිරීම වැනි ක්‍රියාකාරකම් හේතුවෙන් ගුවන්තොටුපළේ යටිතල පහසුකම්වලට හානි සිදුවීම සහ එහි මෙහෙයුම්වලට බලපෑම් එල්ල වීම සැලකිල්ලට ගනිමින්.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එකවෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඒ සම්බන්ධයෙන් මෙලෙස කරුණු දැක්වූවා.

මේ අතර මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ සඳහා දැනට ක්‍රියාත්මක වන අපගමන බදු නිදහස් කාල සීමාව 2027 වසරේ ජුනි 26 වනදා දක්වා දීර්ඝ කිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

මේ අතර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත තාවකාලික පදනමින් සුදුසු නිලධාරින් පත් කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමි වූ බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සම්බන්ධයෙන් විපක්ෂය එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් එහිදී යොමුකළ ප්‍රශ්නයකට කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පිළිතුරු ලබාදුන්නේ මෙලෙසයි.