2026 IPL තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසිය සඳහා දින නියමවීමත් සමග එක් එක් කණ්ඩායම් විසින් සිය කණ්ඩායමේ රඳවාගන්න හා නිදහස් කරන ක්‍රීඩකයන් නිවේදනය කර තිබෙනවා.

2023 වසරේ දී චෙන්නායි නියෝජනය කරමින් මංගල IPL තරගාවලියට සහභාගි වූ මතීෂ, සිය කුළුදුල් තරගාවලියේදීම ජයග්‍රාහී කණ්ඩායමක සමාජිකයෙකු බවට පත් වූ අතර එවර ඔහු සිය කණ්ඩායම වෙනුවෙන් තරග 12කදී කඩුලු 19ක් දවාගැනීමට සමත් වූ අතර මේ වනවිට තරග 32කදී කඩුලු 47ක් බිඳහෙළා තිබෙනවා.

පසුගිය වසරේ දී ඔහු ඉන්දීය රුපියල් කෝටි 13කට රඳවා ගෙන තිබුණ ද මේ වන විට ඔහුව එම කණ්ඩායමෙන් නිදහස් කිරීමට තීරණය කර ඇති බවට අනාවරණය වනවා.

මතීෂ සම්බන්ධයෙන් ඉහළ උනන්දුවකින් කටයුතු කළ එවකට නායක මහේන්ද්‍ර සිං දෝනි පවා පවසා තිබුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මතීෂව ප්‍රවේශමෙන් යොදාගත යුතු බවයි.

එසේ වුවහොත් ඔහුට දිගු වෘත්තීය ගමනක් යා හැකි බවයි.

කෙසේ නමුත් චෙන්නායි කණ්ඩායමට මතීෂව අවශ්‍යනම් එළැඹෙන දෙසැම්බර් 16 වනදා අබුඩාබි හිදී පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසියේ දී ඒ සඳහා අවස්ථාව ඇත.

වෙන්දේසියට දින නියමවීමත් සමග එක් එක් කණ්ඩායම් විසින් ඔවුන්ගේ සංචිතවලින් නිදහස් කරන සහ රඳවා ගැනීමට බලාපොරොත්තු වන ක්‍රීඩක ලැයිස්තුව ඉන්දීය වේලාවෙන් අද ප.ව. 3.00ට පෙර ප්‍රකාශයට පත්කළ යුතුව තිබුණා.