හෙරොයින් පානය කිරීම සඳහා යතුරුපැදියකින් ගොස් කාන්තාවන්ගේ අත්බෑග සහ නවීන පන්නයේ ජංගම දුරකතන කොල්ලකෑමේ සිද්ධීන් රැසක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයන් දෙදෙනෙකු අගෝස්තු 09 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ, පිළියන්දල පොලීසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබා දුන් නියෝගයක් මතයි.

සම්පූර්ණ ලෙස මුහුණ ආවරණය කළ හිස් වැසුම් පැළඳ යතුරුපැදියකින් ගමන් ගත් එම තරුණයන් දෙදෙනා බෝකුන්දර පොලිස් මාර්ග බාධකයේදී පොලිස් නිලධාරීන් විසින් පරික්‍ෂා කර තිබෙනවා.

ඔවුන් ගමන් ගත් යතුරු පැදියේ ඉදිරිපස සහ පසුපස සවිකර තිබූ අංක තහඩුවල අංක වෙනස් බවට අනාවරණ වූ බවයි පොලීසිය පැවසුවේ.

ඒ අනුව අදාළ තරුණයින් දෙදෙනාගෙන් සිදු කළ ප්‍රශ්නකිරීම්වලදී ඔවුන් සොරකම් කළ නවීන පන්නයේ ජංගම දුරකතන රැසක තොරතුරු අනාවරණ වී තිබෙනවා.

බොරලැස්ගමුව, මිරිහාන, බොරැල්ල, අතුරුගිරිය, ගල්කිස්ස ඇතුළු අවට ප්‍රදේශවලදී රැකියා නිමවී නිවෙස් කරා පැමිණෙමින් සිටින කාන්තාවන්ගේ අත්බෑග සහ ජංගම දුරකතන තමන් විසින් කොල්ල කෑ බවයි එම තරුණයන් දෙදෙනා පොලීසිය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ.

ඒ අනුව ඔවුන් සොරකම් කරන ලද නවීන පන්නයේ ජංගම දුරකතන 40කට ආසන්න ප්‍රමාණයක් එක් තරුණයෙකුගේ පානදුර ප්‍රදේශයේ තෙමහල් නිවසේ ඔහුගේ වායු සමීකරණය කරන ලද කාමරයේ තිබී පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

එම තරුණයා පානදුර ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ පුත්‍රයෙකු බවයි පොලීසිය පැවසුවේ.

අනෙක් තරුණයා ඕස්ට්‍රේලියාවේ සිට නිවාඩුව ගත කිරීම සඳහා මීට මාස දෙකකට පමණ දිවයිනට පැමිණ තිබෙනවා.

ඔවුන් මංකොල්ලකන ලද නවීන පන්නයේ ජංගම දුරකතන ගලවා කොටස් වශයෙන් අලෙවි කර එම මුදල්වලින් හෙරොයින් පානය සිදු කරන බවට අනාවරණ වූ බවයි පොලීසිය පැවසුවේ.

පොලිස් භාරයට ගත් නවීන පන්නයේ ජංගම දුරකතන අතරින් විස්සක් මේ වන විට අයිතිකරුවන් වෙත භාර දී තිබෙනවා. සෙසු නවීන පන්නයේ ජංගම දුරකතන පිළිබඳ අනන්‍යතාව තහවුරු කරන අයිතිකරුවන්ට ඒවා ලබා දීමට පියවර ගන්නා බවද පිළියන්දල පොලීසිය වැඩිදුරටත් පැවසුවා.