ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබන 11 වනදා ජර්මනියේ සංචාරයක නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව ලබන 13 වනදා දක්වා ජනාධිපතිවරයා ජර්මනියේ රැඳී සිටීමට නියමිතයි.

ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර්ගේ ආරාධනාවකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එලෙස ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත වන බවයි විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම සංචාරයේදී ජර්මානු ජනාධිපතිවරයා, ෆෙඩරල් රජයේ ප්‍රධාන අමාත්‍යවරුන් සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

රජයේ ප්‍රමුඛතා මත පදනම් ව වෙළෙඳ, ඩිජිටල් ආර්ථිකය, ආයෝජන සහ වෘත්තීය පුහුණු අවස්ථා ඇතුළු සහයෝගීතාව සඳහා නව මාර්ග පිළිබඳව සාකච්ඡා කරනු ඇති බවද විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවා.

ජනාධිපති දිසානායක මහතා විසින් ජර්මානු වාණිජ හා කර්මාන්ත මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන ව්‍යාපාරික සංසදයේ ප්‍රධානත්වය දරනු ලබන අතර එහිදී ශ්‍රී ලංකාවේ ආර්ථික පරිවර්තනය, පවතින ආයෝජන අවස්ථා, රටේ වර්ධන විභවය සහ දෙරට අතර නව වෙළෙඳ සබඳතා ගොඩනැගීමේ අවස්ථා පිළිබඳව අවධාරණය කිරීමට ද නියමිතව තිබෙනවා.

එමෙන්ම එම සංචාරයේදී ජනාධිපතිවරයා විසින් ජර්මනියේ සංචාරක හා සංචාරක කර්මාන්ත සංගම්වල නියෝජිතයන් හමුවීමට නියමිතයි.

මෙම සංචාරයට ජනාධිපතිවරයා සමඟ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද සහභාගී වීමට නියමිතයි.