උදය ගම්මන්පිල මහතා මාධ්‍ය සකාච්ජාවක් පවත් වමින් කල අදහස් දැක්වීම පහතින් දැක්වේ.

ලංකා ඉතිහාසයේ වාර්තා ගත දැවැන්තම ආපදාවට අපි පසුගිය සතියේ මුහුණ දුන්නා.

සමස්ත ලංකාවටම එකවර බලපාන මෙවැනි ආපදාවක් පිළිබඳ අපි මීට පෙර අහලා තිබුණේ නෑ.

මේ ආපදාවෙන් ජීවිත අහිමි වුණු දේපල අහිමි වුණු පීඩාවට පත් සියළුම ජනතාවට අපේ සංවේගය පළමුව පල කරනවා.

අපේ උතුම් ශ්‍රී ලාංකික ගුණය ඉස්මතු කරලා විපතට පත් වුණු අයට සහන සලසවන්න පෙරට පැමිණි පරහිතකාමි ජනතාවට අපේ ප්‍රණාමය පුද කරනවා.

ස්වභාවික ආපදා ඇති වෙන එක නවත්වන්න ආණ්ඩුවට බැරි වුණත් මිනිස්සුන්ට සිදුවන හානිය අවම කරන්න කටයුතු කරන්න ආණ්ඩුවට පුළුවන් වෙන්න ඕනි.

මෙහෙම කිව්වේ මම නොවේ.

වත්මන් සභානායක බිමල් රත්නායක මැතිතුමා 2016 දී විපක්ෂයේ ඉන්න කාලයේ.

ඒ නිසාම වත්මන් ආණ්ඩුව මේ ආපදාව නිසි ලෙස කලමනාකරණය කලා ද නැතිනම් ආණ්ඩුවේ හැසිරීම නිසා මෙම ආපදාවෙන් සිදු වුණු විපත තීව්‍ර වුණා ද කියන එක සොයා බලා රට දැනුම්වත් කිරීම විපක්ෂයේ අපේ යුතුකමක්.

මේ යුතුකම ඉටු කරන්න අපි කල් මැරුවා.

ඒ නිසා පසුගිය දින දහයකට වැඩි කාලයක් අපි ජනතාවට සහන සලසමින් ආණ්ඩුවට උපරිම සහයෝගය ලබා දුන්නා.

දැන් අවදානම සහ දුෂ්කරතා බොහෝ දුරට පහ වී ගිහින් තිබෙන නිසා ආණ්ඩුව දිහා විවේචනාත්මකව බලන්න කාලය හරියි කියලා අපි විශ්වාස කරනවා.

මේ ආණ්ඩුවත් ඩෝබි බලකායේ සිටින වොෂිංටන්ලාත් මෙතරම් බරපතල ආපදාවක් සිදු වුණේ කාලගුණ වාර්තා නොසලකා සිටින්න ආණ්ඩුව කටයුතු කළ නිසා බව කියන තිත්ත ඇත්ත සෝදා දාන්න බරපතල උත්සාහයක් දැරුවා.

නමුත් නොවැම්බර් 12 සිටම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කුනාටුවක් පැමිණීමේ හැකියාව ප්‍රකාශයට පත් කළ බවත් නොවැම්බර් 25 බීබීසි වෙදර් නාලිකාව සුළි කුනාටුවක් පැමිණෙන බව මෙන්ම එහි වර්ෂාපතනය මිලි මීටර් 500 ඉක්මවා යා හැකි බව ද ප්‍රකාශයට පත් කළ බව ඇසින් දැකලා කනින් අහලා මේ රටේ ජනතාව දැනගෙන ඉවරයි.

මාලිමා ආණ්ඩුව විසින් සුළි සුලඟක් එන බව දැනගෙන කළ යුතු නමුත් නොකළ හැරිය කාරණා 14ක් හේතුවෙන් මේ ආපදාව තීව්‍ර වුණා කියන එක තිත්ත ඇත්තක්.

ඒ කාරණා 14 මොනවාදැයි අපි දැන් බලමු.

1. වැසි ජලය රැස් කර ගැනීමට හැකි වන පරිදි ජලාශ හිස් කලේ නෑ.

2. මෝය කට පලල් කිරීම් කලේ නෑ.

3. හමුදාව යොදවා අතුරු ඇල මාර්ග මතු කලේ නෑ

4. පලාත්පාලන ආයතන හරහා ජලය බැස යන කානු පද්ධතිය පිරිසිදු කලේ නෑ.

5. නාය යන දිස්ත්‍රික්ක හතේ අධි අවදානම් ප්‍රදේශ NBRO කලින්ම හඳුනා ගෙන තිබුණා. නමුත් ඒ ප්‍රදේශවල පදිංචිකරුවන් ඉවත් කලේ නෑ.

6. ජල ගැලීම් සහ නාය යෑම් අවදානමට ලක් වුණු ප්‍රදේශවල ඇඳිරි නිතිය පනවා හමුදාව යෙදෙව්වේ නෑ. එහෙම නැතිව තමන් උපන් දා සිට උපයා ගත් දේවල් දාලා ජනතාව යන්නේ නෑ.

7. ත්‍රිවිධ හමුදාව සම්බන්ධිකරණය කරන ආරක්ෂක මණ්ඩල ප්‍රධානි (Chief of Defence Staff ) පත් කලේ නෑ.

8. රාජ්‍ය යාන්ත්‍රණයට නායකත්වය දෙන්න පරිපාලන අත්දැකීම් ඇති ජ්‍යේෂ්ඨ නිලධාරියෙක් ජනාධිපති ලේකම් ලෙස පත් කර තිබුණේ නෑ. ජ්‍යේෂ්ඨත්වයෙන් පළමු දස දහසටවත් අයිති නොවන පරිපාලනය ගැන මෙලෝ හසරක අත්දැකීමක් නැති කෙනෙක් තමයි කැළණි සගයෙකු නිසා ජනාධිපති ලේකම් කලේ.

9. හදිසි නීතිය ප්‍රකාශයට පත් කලේ නොවැ 28 දින ජාතික ව්‍යසන තත්වයක් ප්‍රකාශයට පත් කරන්න කියා විපක්ෂ නායක ඉල්ලුවාට පස්සේ.

10. පාර්ලිමේන්තු සැසිය නැවැත්තුවේ නෑ. ඒක කලේ නාමල් රාජපක්ෂ මන්ත්‍රිතුමා ඉල්ලුවාට පස්සේ

11. ජාතික ආපදා කළමනාකරණ පනත යටතේ ජාතික ව්‍යසන තත්වයක් ප්‍රකාශ කලේ නෑ.

12. ආපදාවකට මුහුණ දෙන ආණ්ඩු - විපක්ෂ ඒකාබද්ධ යාන්ත්‍රණය වන ජාතික ආපදා සභාව කැඳවූයේ නෑ.

13. මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ලා වැනි ආපදා කලමනාකරණය පිළිබඳ හසල අත්දැකීම් ඇති හිටපු ජනපතිවරුන්ගේ සහය ලබා ගත්තේ නෑ.

14. රාජ්‍ය සේවය අත්‍යාවශ්‍ය කරනු වෙනුවට රජයේ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කලා.

මේ නොසලකා හැරීම් නිසා ජනාධිපතිතුමා ප්‍රමුඛ ඇමති මණ්ඩලය දණ්ඩ නීති සංග්‍රහයේ 298, 327, 328 සහ 329 වගන්ති යටතේ සාපරාධි නොසැලකිල්ල කියන වරද සිදු කර තිබෙනවා.

එය වසර පහක් දක්වා සිර දඬුවම් ලැබිය හැකි වරදක්.

නොසැලකිලිමත්ව කටයුතු කිරීමට ජනාධිපතිවරයා වැරදිකරු කිරීමේ පූර්වාදර්ශ දෙකක් මෑත ඉතිහාසයේ තිබෙනවා.

පාස්කු ප්‍රහාරයේ හානිය වලක්වා ගැනීමට අසමත් වීම පිළිබඳ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා වැරදිකරු වීමත් ආර්ථික අර්බූදය මග හරවා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා වැරදිකරු වීමත් තමයි ඒ අවස්ථා දෙක.

ඒ නිසා ඒ අධිකරණමය පූර්වාදර්ශ අනුව යමින් වත්මන් ජනාධිපතිතුමාව වසර පහක සිර දඬුවමකට යටත් කළ හැකියි.