ජාතික දේශ සීමාවට ඔබ්බෙන් පිහිටි ප්‍රදේශවල සමුද්‍ර ජෛව විවිධත්ව සංරක්ෂණය සහ තිරසාර භාවිතය සම්බන්ධ සාගර නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය යටතේ වන ගිවිසුමට අදාළ සාමාජිකත්වයට, රටවල් 60ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ප්‍රංශ රජය විසින් සංවිධානය කරන ලද උත්සවයක් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා ඇතුළු සෙසු රටවල රාජ්‍ය නායකයන්ගේ සහභාගීත්වයෙන් නිව්යෝර්ක් නුවරදී පැවැත්වුණා. එම ගිවිසුමට එළැඹි සාමාජික රටක් වන ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද එම අවස්ථාවට සහභාගී වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ. එම ගිවිසුමට එළැඹි 58 වන සාමාජික රට ලෙස, ශ්‍රී ලංකාව පසුගිය 16 වනදා ගිවිසුමට එළැඹුණු අතර, එමඟින් එම සම්මුතියේ පාර්ශ්ව රාජ්‍යයක් බවට පත් වී තිබෙනවා. දශක දෙකක සාකච්ඡාවලින් පසු, ජාතික දේශ සීමාවට ඔබ්බෙන් පිහිටි ප්‍රදේශවල සමුද්‍ර ජෛව විවිධත්වය පිළිබඳ ගිවිසුම ලෙස හැඳින්වෙන මෙම ගිවිසුමට මේ වන විට රටවල් 60ක් අත්සන් තබා ඇති අතර, එය එම ගිවිසුම බලාත්මක වීමට හේතු වී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ. ලෝකයේ සාගරවලින් තුනෙන් දෙකක් ආවරණය කරන මෙම ගිවිසුමෙන්, සාගර ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමට, තිරසාර ලෙස භාවිත කිරීමට සහ ස්වදේශීය අධිකරණ බලයෙන් ඔබ්බට වූ ප්‍රදේශවලට එම ජෛව විවිධත්ව ප්‍රතිලාභ බෙදා ගැනීමට කටයුතු කෙරෙනවා. එම ගිවිසුම ලබන ජනවාරි 17 වන දින සිට නිල වශයෙන් ක්‍රියාත්මක වීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ. මේ අතර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා නිව්යෝර්ක් නුවරට පැමිණ සිටි රාජ්‍ය නායකයන් වෙනුවෙන් ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් පිරිනමන ලද විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද සහභාගී වී තිබෙනවා. එහිදී, ඇමරිකා ජනාධිපතිවරයා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉතා උණුසුම් ලෙස පිළිගත් බත් සුහද කතාබහකින් අනතුරුව රාජ්‍ය නායකයෝ දෙපළ ඡායාරූපයකටද එක් වූ බවත් ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළා. මේ අතර අමෙරිකා එක්සත් ජනපදයේ සංචාරය සාර්ථකව නිම කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජපානය වෙත පිටත්ව ගොස් තිබෙනවා. ජපන් රජයේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා ලබන 30 වනදා දක්වා ජපානයේ නිල සංචාරයක නිරත වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පැවසුවේ.