ඇදහැලෙන ප්‍රභල වැසි සහ ඒ ඔස්සේ බලපා ඇති ගංවතුර තත්වය හමුවේ පන්ජාබ් පළාතේ වෙසෙන 19,000 ක පමණ පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට බලධාරීන් පියවර ගෙන ඇතැයි වාර්තා වේ. එමෙන්ම එරට මාධ්‍ය වාර්තා පවසන්නේ මෙම ආපදාකාරී තත්වය හේතුවෙන් පළාතේ හදිසි සේවා සීරුවෙන් තබා ඇති බවයි. ඒ අනුව පන්ජාබ් පළාතට ඉදිරි පැය 96 තීරණාත්මක වනු ඇති බවට බලධාරීන් අනතුරු අඟවා ඇති අතර, අධික වර්ෂාපතනය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට බලපා ඇති ගංවතුර තත්වය තවදුරටත් දරුණු වනු ඇතැයි ද කාලගුණ අංශ අනාවැකි පළ කර තිබේ. බලධාරීන් පැවසුවේ නිවැසියන් ආරක්ෂිත කලාප වෙත ගෙන යාමට හදිසි කණ්ඩායම් පැය විසිහතරේම කටයුතු කරමින් සිටින බවයි. ආපදා තත්වය හේතුවෙන් ගිල්ගිට්-බල්ටිස්තානයෙන් ජල ගැලීම් මෙන්ම නායයාම් ද වාර්තා වන බව සඳහන්. ආපදා තත්වය හමුවේ ජනතාවට නිවාස සහ වාසස්ථාන අහිමි වීම පමණක් නොව ගංවතුරෙන් පීඩාවට පත් කලාප කිහිපයක පිරිසිදු පානීය ජලය සහ වාරි සැපයුම්වල දැඩි හිඟයක් ද නිර්මාණය වී ඇතැයි වාර්තා වේ. ප්‍රාදේශීය නිලධාරීන් සහ සහන සේවකයන් හදිසි සහනාධාර සඳහා ආයාචනා කර ඇති අතර, සැප්තැම්බර් මාසය දක්වා අධික වර්ෂාපතනය දිගටම පැවතුනහොත් හිඟය තවත් උග්‍ර විය හැකි බවට ඔවුන් අනතුරු අඟවයි.