බස්නාහිර පළාත තුළ සිදුවන විෂ මත්ද්‍රව්‍ය හා විවිධ දූෂිත ක්‍රියා සම්බන්ධව තොරතුරු මින් ඉදිරියට වර්තමාන බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ දුරකතන අංකයට දැනුම් දෙන ලෙස පොලිස් මාධ්‍ය කොට්ඨාසය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඒ, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයේ රාජකාරි කළ සංජීව ධර්මරත්න මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පරිපාලන ධූරයට පත් කිරීම හේතුවෙන්.

ඒ අනුව බස්නාහිර පළාත භාර වර්තමාන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වන සජීව මැදවත්ත මහතාගේ දුරකථන අංකය වන 071 85 92 621 යන අංකයට එම තොරතුරු දැනුම්දෙන ලෙසයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

මේ අතර ටී-56 අවියක් සහ අත්බෝම්බයක් සමග බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය මගින් ඊයේ අත්අඩංගුවට ගත් සැකකරුගෙන් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කෙරෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.

සැකකරු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 07ක රැඳවුම් නියෝග ලබාගෙන තිබෙනවා.

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 21යි මිලි ග්‍රෑම් 750ක්, ටී-56 වර්ගයේ ගිනි අවියක්, ටී-56 පතරොම් 30ක් සහ ජීව අත්බෝම්බයක් සමග එම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ මිදිගම පොලිස් වසමේ කපුඅත්ත ප්‍රදේශයේදීයි.

එම සැකකරු තංගල්ල දංකැටිය ප්‍රදේශයේ පදිංචිකරුයෙකු බවටයි අනාවරණ වී ඇත්තේ.

වැලිගම පොලිසිය සහ මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළා.