රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රතිසංස්කරණ වැඩසටහනේ ප්‍රගතිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇගයීමට ලක්ව තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන මෙහෙයුම් මණ්ඩල ප්‍රධානී, එවන් පැපජෝර්ජියු මහතා පවසා ඇත්තේ පාලනය ශක්තිමත් කිරීමට සහ දූෂණය අවම කිරීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග අගය කරන බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන මෙහෙයුම් මණ්ඩල ප්‍රධානියා, මෙමඅදහස් පළ කර ඇත්තේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සමග අරලියගහ මන්දිරයේ පැවති හමුවකදීයි. බදු ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණවල වැදගත්කම, බදු නිදහස් කිරීම් සම්බන්ධයෙන් ගෙන ඇති පියවර පිළිබඳව ද එහිදී ඔහු සිය අවධානය යොමු කර තිබෙනවා. එමෙන්ම 2026 ජාතික අයවැයෙන් සමාජ ආරක්ෂණ පද්ධතිය සඳහා සම්පත් වෙන් කිරීම ද පැපජෝර්ජියු මහතාගේ ඇගයුමට ලක් වූ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේ. 2026 අයවැයෙන් ජනතාව සවිබල ගැන්වීමට පියවර ගැනීමේ වැදගත්කම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය මෙහිදී අවධාරණය කර තිබෙනවා. එහිදී ඇය පෙන්වා දී ඇත්තේ ආර්ථික ප්‍රගතිය ජනතාවගේ අවශ්‍යතාවලට අනුකූල විය යුතු බවයි. ගුණාත්මක ආයෝජන ආකර්ෂණය කර ගැනීම රජයේ ප්‍රමුඛතාවක් බවත් ඇය එහිදී අවධාරණය කර තිබෙනවා. සමාජ ආරක්ෂණය ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය බවත්, දිගුකාලීන තිරසාරභාවය සහතික කිරීම සඳහා ආර්ථික වශයෙන් අවදානමට ලක් වූ කණ්ඩායම් සවිබල ගැන්වීම අවශ්‍ය බවත් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා. ඉදිරි ජාතික අයවැය තුළින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍රය හරහා ග්‍රාමීය ආර්ථික සහභාගීත්වය ඉහළ නැංවීම, ඩිජිටල්කරණය කඩිනම් කිරීම, යටිතල පහසුකම් සංවර්ධනය ඉදිරියට ගෙන යාම, සංචාරක ක්ෂේත්‍රයේ ගුණාත්මක දියුණුව පෝෂණය කිරීම, සහ කෘෂිකර්මාන්තය ශක්තිමත් කිරීම යන පියවර කෙරෙහි විශේෂ අවධානය යොමු කරන බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය එහිදී පෙන්වා දී ඇති බවයි අග්‍රාමා්‍ය කාර්යාලය සඳහන් කළේ.