මෙරට ඉඩම් කළමනාකරණය කිරීම සඳහා ජාතික වැඩපිළිවෙළක් සකස් කරන ලෙස නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර තිබෙන පෙත්සමක් සම්බන්ධයෙන් නොවැම්බර් මස 28 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා අභියාචනාධිකරණය විසින් ඉඩම් අමාත්‍යවරයා, පරිසර අමාත්‍යවරයා ඇතුළු පාර්ශව කිහිපයකට නොතීසි නිකුත් කර තිබෙනවා. පරිසර යුක්ති කේන්ද්‍රය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා. මෙම පෙත්සම අද ධම්මික ගනේපොල සහ ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රවීන්ද්‍රනාන් දාබරේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙරට තුළ ඉඩම් කළමනාකරණය පිළිබඳ ජාතික සැලැස්මක් ක්‍රියාත්මක නොවීම නිසා ගැටලු රාශියක් උද්ගත වී තිබෙන බව පෙන්වා දුන්නා. මෙරට තුළ කෘෂිකාර්මික කටයුතු , වනාන්තර, වගුරු බිම්, ජනාවාස යනාදී අංශ සඳහා වෙන් කළ යුතු ඉඩම් මෙන්ම ඒවායේ සීමාවන් නිසි පරිදි හදුනාගෙන වෙන් කර නොමැති වීම නිසා පාරිසරික මෙන්ම අනෙකුත් අර්බුද රාශියක් මතු වී තිබෙන බවත් නීතිඥවරයා පෙන්වා දුන්නා. ඒ නිසා මෙරට ඉඩම් වලින් නිසි ප්‍රයෝජන ලබා ගැනීමට නොහැකි තත්ත්වයක්ද උද්ගත වී තිබෙන බවයි නීතිඥවරයා පෙන්වා දුන්නේ. දූපත් රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවට හිමිවී තිබෙන ඉඩම් වලින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම අත්‍යවශ්‍ය කටයුත්තක් බවත් විධිමත් ඉඩම් කළමනාකරන සැලැස්මක් නොමැති වීම හේතුවෙන් නිසි පලදායිතා ඉලක්ක වලට ළඟා වීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබෙන බවත් නීතිඥවරයා පෙන්වා දුන්නා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම සම්බන්ධයෙන් එහි වග උත්තරකරුවන් වශයෙන් නම් කර සිටින ඉඩම් අමාත්‍යවරයා, පරිසර අමාත්‍යවරයා, වන ජීවී අධ්යක්ෂ ජෙනරාල් ඇතුළු පාර්ශ්ව කීපයකට නොවැම්බර් මස 28 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙස නියෝග කළා.
Published