ගාසා තීරයේ සාමය පිළිබඳ බලාපොරොත්තු ඇති කරමින් හමාස් සටන්කාමීන් ඊශ්‍රායල් ප්‍රාණ ඇපකරුවන් 20 දෙනෙකු අද මුදාහරිණු ලැබුවා.

ඊට සමගාමීව ඊශ්‍රායලයද පලස්තීන සිරකරුවන් 2,000ක් පමණ නිදහස් කිරීම මේ වන විට සිදු වෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා අනාවරණ කළේ.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගාසා තීරයේ යුද්ධය අවසන් කිරීම සඳහා ඉදිරිපත් කළ කරුණු 20කින් සමන්විත සාම සැලැස්ම අනුවයි මෙම ප්‍රාණ ඇපකරුවන් සහ සිරකරුවන් නිදහස් කිරීම ක්‍රියාත්මක වුණේ.

ඒ අනුව වසර දෙකක පමණ කාලයක් ගාසා තීරයේ පැවති යුද ගැටුම් අවසන් වී ස්ථිර සාමයක් ඇති වීමේ ලකුණු පහළ වී තිබෙනවා.

මෙම සුවිශේෂී තත්ත්වයත් සමග අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද ඊශ්‍රායලය වෙත පැමිණියා.

ඒ, ඊශ්‍රායල පාර්ලිමේන්තුව ඇමතීම සඳහායි.

ඊශ්‍රායලය වෙත පැමිණි අමෙරිකානු ජනාධිපතිවරයා ඉතා උණුසුම් ලෙස පිළිගැණුනු අතර ඔහු පිළිගැනීම සඳහා ඊශ්‍රායල ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටීම විශේෂත්වයක්.

ඊශ්‍රායල පාර්ලිමේන්තුවේ කතානායකවරයා විසින් එරට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ලබන වසරේ නොබෙල් සාම ත්‍යාගය සඳහා අමෙරිකානු ජනාධිපතිවරයාගේ නම යෝජනා කරන බවයි.

ඉන් අනතුරුව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සහ එරට විපක්ෂ නායකවරයා ගාසා තීරයේ සාමය ඇති කිරීම සඳහා අමෙරිකානු ජනාධිපතිවරයා ගත් උත්සහයන් පිළිබඳ ස්තුතිය පළ කරමින් විශේෂ දේශන පවත්වනු ලැබුවා.

ඉන් පසු ඊශ්‍රායල පාර්ලිමේන්තුව අමතමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ ගාසා තීරයට සාමය උදා වීමත් සමග මැද පෙරදිග කලාපයේ නව ආරම්භයක් සනිටුහන් වන බවයි.

මාස 08ක් ඇතුළත ලෝකයේ යුද්ධ 08ක් නිමා කිරීමට තමන්ට හැකි වූ බවද අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එහිදී ප්‍රකාශ කළා.

අමෙරිකානු ජනාධිපතිවරයාගේ කතාව අතරතුර ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දේශනයට බාධා කරමින් පලස්තීනය පිළිගන්නා ලෙස ඝෝෂා කළ මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තු සභා ගර්භයෙන් ඉවත් කිරීමටද අදාළ බලධාරීන් පියවර ගත්තා.

එම සුළු බාධාවෙන් පසු ඩොනල්ඩ් ට්‍රම්ප් සිය කතාව නැවත ආරම්භ කළේ “එය ඉතා කාර්යක්‍ෂම” යැයි ප්‍රකාශ කරමින්.

අමෙරිකානු ජනාධිපතිවරයා පැය කිහිපයක සිය ඊශ්‍රායල සංචාරය අවසන් කරමින් අද දිනයේ ඊජිප්තුවේ පැවැත්වෙන ගාසා සමුළුව සඳහා පිටත්ව යාමට නියමිතයි.

මේ අතර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඊශ්‍රායල රජය මගින් සිවිල් පුරවැසියෙකු සඳහා පිරිනමන ඉහළම සම්මානය පිරිනැමීමට නියමිත බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.