චීනය සතු ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය සමඟ ගණුදෙනුවකට එළඹ සිටින බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ ටික්ටොක් සම්බන්ධයෙන් ගණුදෙනුවකට එළඹීමට අවසානයේදී අමෙරිකාව සමත් වූ බවයි.

කෙසේවෙතත් අදාල ගණුදෙනුව කුමක්ද යන්න සම්බන්ධයෙන් ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වා නැහැ.

අමෙරිකාවේ ටික්ටොක් සමාජ මාධ්‍ය භාවිතය අද සිට තහනම් කිරීමට ට්‍රම්ප් පරිපාලනය මීට පෙර තීරණය කර තිබුණා.

කෙසේවෙතත් විධායක නියෝගයකට අත්සන් තබමින් අමෙරිකානු ජනාධිපිතවරයා නිවේදනය කළේ එම තහනම බලාත්මක කිරීමේ කාල සීමාව දීර්ඝ කරන බවයි.

ඒ අනුව ටික්ටොක් තහනම සඳහා ලබාදී ඇති නව දිනය දෙසැම්බර් 16 දක්වා දීර්ඝ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.

චීනයේ බයිට්ඩෑන්ස් සමාගම සතු ටික්ටොක් සමාජ මාධ්‍ය යෙදවුම පරිශීලකයින්ගේ දත්ත රැස්කරන බැවින් එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව අමෙරිකානු බලධාරින් පෙන්වා දීමෙන් අනතුරුව ටික්ටොක් තහනම් කිරීම සඳහා ට්‍රම්ප් පරිපාලනය පියවර ගනු ලැබුවා.

කෙසේවෙතත් අදාල චෝදනා ටික්ටොක් සමාගම එය ප්‍රතික්ෂේප කර තිබෙනවා.