යුක්‍රේනයේ සටන් විරාමයක් ඇති කිරීම සඳහා රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටීන් සහ යුක්‍රේන ජනාධිපති වොලොඩ්මියර් සෙලෙන්ස්කි අතර සාකච්ඡාවක් පැවැත්වීමට ඉදිරියේදී කටයුතු යොදන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. යුක්‍රේන යුද්ධය නිමා කිරීම සම්බන්ධයෙන් යුරෝපා නායකයින් සහ යුක්‍රේන ජනාධිපතිවරයා සමග ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ පැවති සාකච්ඡාවලින් පසු අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබෙනවා. මෙම සාකච්ඡාවට බි්‍රතාන්‍ය, ප්‍රංශය, ෆින්ලන්තය, ඉතාලිය, ජර්මනිය යන රටවල නායකයින් මෙන්ම යුරෝපා කොමිසමේ සහ නේටෝ සංවිධානයේ ප්‍රධානීන් ද සහභාගී වී තිබෙනවා. යුක්‍රේනයේ ආරක්ෂක සහතික කිරීමේ කරුණු ඇතුළු සංවේදී කරුණු පිළිබඳව එහිදී සාකච්ඡා පවත්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. මෙම සාකච්ඡාව අතරතුර අමෙරිකානු ජනාධිපතිවරයා රුසියානු ජනාධිපතිවරයා සමග විනාඩි 40ක පමණ දුරකතන සාකච්ඡාවක් ද පවත්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. සාකච්ඡාවෙන් අනතුරුව යුක්‍රේන ජනාධිපති වොලොඩ්මියර් සෙලෙන්ස්කි ප්‍රකාශ කර ඇත්තේ අමෙරිකානු ජනාධිපතිවරයා සමග මෙතෙක් තමන් පැවැත් වූ හොඳම සාකච්ඡාව මෙය වන බවයි. ඒ සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපතිවරයාට සහ යුරෝපා රටවල නායකයින්ට සිය ස්තූතිය පිරිනමන බවද යුක්‍රේන ජනාධිපතිවරයා පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සඳහන්.