ඉස්තාන්බුල්හි පැවති නවතම ඇෆ්ගනිස්ථාන-පකිස්ථාන සාම සාකච්ඡා වටය එකඟතාවයකින් තොරව අවසන් වී තිබේ.

ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලනය චෝදනා කරන්නේ පකිස්තානයේ ක්‍රියාකලාපය හමුවේ සාම සාකච්ඡා බිඳවැටුණු බවයි.

කෙසේවෙතත් තලේබාන් රජය සාම සාකච්ඡා පැවැත්වීම සහ මැදිහත් වීම සම්බන්ධයෙන් තුර්කි ජනරජයට සහ කටාර් රාජ්‍යයට ස්තූතිය පළ කර තිබේ.

එමෙන්ම ඔවුන් පකිස්තානයේ ස්ථාවරය විවේචනය කරමින් පැවසුවේ තලේබාන් සංවිධානය තම භූමිය වෙනත් රටකට එරෙහිව භාවිතා කිරීමට හෝ කිසිදු විදේශීය ජාතියකට එහි ස්වෛරීභාවය සහ ස්වාධීනත්වය උල්ලංඝනය කිරීමට ඉඩ නොදෙන බවයි.

ඇෆ්ගනිස්ථානයේ ජනතාව සහ භූමිය ආරක්ෂා කිරීම ජාතික යුතුකමක් ලෙස පවතින බව පැවසූ තලේබාන්වරුන් අල්ලා දෙවියන්ගේ උපකාරයෙන් සහ එහි ජනතාවගේ සහාය ඇතිව ඕනෑම ආක්‍රමණයකට එරෙහිව ස්ථිර ආරක්ෂක ක්‍රියාමාර්ග ගන්නා බව ද පැවසූහ.

අභ්‍යන්තර ආරක්ෂක ගැටළු බාහිරකරණය කිරීමට පකිස්තානය නැවත නැවතත් දරන උත්සාහයන් සහ කලාපීය ස්ථාවරත්වය සඳහා කැපවීමට ඇති අකමැත්ත පිළිබඳව ඇෆ්ගනිස්ථානයේ කලකිරීම මෙම ප්‍රකාශයෙන් පිළිබිඹු විය.