විදෙස්ගතව සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ප්‍රදීප් නිශාන්ත අප්පුහාමි නොහොත් ‘ගැටයා’ නමැත්තාගේ පානදුර අළුබෝමුල්ල ප්‍රදේශයේ පිහිටි වෙළඳසැලකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඔහුගේ නිවසේ එක් කොටසක එම වෙළඳසැල පවත්වාගෙන ගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ. වෙඩි ප්‍රහාරය සිදු වන විට නිවසේ ගැටයා නමැත්තාගේ මව රැඳී සිට තිබෙනවා. කෙසේවෙතත් වෙඩි තැබීමෙන් ඇයට කිසිදු හානියක් සිදුව නැහැ. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර තිබෙනවා. වෙඩි තැබීමෙන් වෙළඳසැලෙහි තිබූ ශීතකරණයකට සහ තරාදියකට හානි සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ. සැකකරුවන් සොයා පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන ආරම්භ කර තිබෙනවා. මේ අතර මීගමුව කුට්ටුදූව ප්‍රදේශයේ නිවසකටද අද අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් අලුයම 01යි 30ට පමණ එම වෙඩි තැබීම සිදු කර පලා ගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ. වෙඩි තැබීමෙන් නිවසේ සිටි කිසිවෙකුට හෝ තුවාල සිදුව නැහැ. වෙඩි තැබීමට හේතුව හෝ සැකකරුවන් මෙතෙක් අනාවරණ වී නොමැති බවයි පොලීසිය පැවසුවේ. සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව පොලීසිය ඇතුළු පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන ආරම්භ කර තිබෙනවා. මේ අතර ග්‍රෑන්ඩ්පාස්, මහවත්ත ඔරලෝසු කණුව අසලදී ඊයේ රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් තරුණයෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇති බව පොලීසිය පැවසුවා. යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් අදාළ තරුණයාට වෙඩි තබා පලා ගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ. එහිදී තුවාල ලැබූ එම තරුණයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. එලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ 26 හැවිරිදි කැලණිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර වෙඩි තැබීම සඳහා රිවෝල්වර වර්ගයේ ගිනි අවියක් යොදාගෙන ඇති බවටයි පොලීසිය සැක පළ කරනු ලබන්නේ. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ග්‍රෑන්ඩ්පාස් පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. අද අලුයම මරදාන පංචිකාවත්ත ප්‍රදේශයේදීද වෙඩි තැබීමක් සිදු වුණා. යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුට වෙඩි තබා පලා ගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ. එහිදී තුවාල ලැබූ එම පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඔහු පංචිකාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලීසිය පැවසුවේ. එම වෙඩි තැබීමට පැමිණි පැදිකරු යතුරුපැදියත් සමග බ්ලූමැන්ඩල් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.