තවමත් අවසන් නැති රටේ තැන තැන සිදුවන වෙඩි තැබීම්
එහි අලුත්ම සිද්ධිය වාර්තා වුණේ බණ්ඩාරගමින්.
එහිදී මියගිය පුද්ගලයා සම්බන්ධයෙන් විශේෂ තොරතුරු රැසක් දැන් අනාවරණ වී තිබෙනවා.
මේ, ඒ පිළිබඳ සටහනක්.
බණ්ඩාරගම බොල්ගොඩ පාලම අසල ඊයේ රාත්රියේ සිදුවූ වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වැඩ තහනමකට ලක්ව සිටි බන්ධනාගාර නිලධාරියෙකු බව පොලීසිය පවසනවා.
ඔහු කළුතර බන්ධනාගාරයේ නියමකවරයෙකු ලෙස සේවය කළ ලලිත් කුරේ නැමැත්තා වනවා.
ඔහු ජීවිතක්ෂයට පත්වූ මාකදුරේ මධූෂ්ගේ කුඩා කල සිටම මිතුරෙකු බවයි පොලීසිය පවසන්නේ.
ඩුබායිහි මීට පෙර පැවති මාකදුරේ මධුෂ් සංවිධාන කර තිබූ උපන් දින සාදයක් සදහා මෙම බන්ධනාගාර නියාමකවරයාට ද ඇරයුම් කර තිබුණා.
එහිදී මාකදුරේ මධුෂ් සමග සාදයට පැමිණ සිටි පිරිසක් අත්අඩංගුවට පත් වූ අතර ඉන් අනතුරුව ඔවුන් දිවයිනට රැගෙන එනු ලැබුවා.
එම සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාරතමේන්තුව ද විමර්ශනයක් ආරම්භ කළ අතර ඉන් අනතුරුව ඔහුගේ වැඩ තහනම් කිරීමටයි එම දෙපාර්තමේන්තුව පියවර ගත්තේ.
සමයං ඇතුළු රැදවියන් පිරිසක් කළුතර බන්ධනාගාරයේ සිට අධිකරණය දක්වා බන්ධනාගාර බස් රථයකින් රැගෙන යමින් සිටියදී එතනමඩල ප්රදේශයේදී මීට පෙර වෙඩි ප්රහාරවලට ලක් වුණා.
එහිදී සමයං ඇතුළු කිහිප දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
අදාළ වෙඩි තැබීම සිදුකර තිබුණේ බන්ධනාගාර නිල ඇදුමින් සැරසී පැමිණ සිටි පිරිසක්.
එම වෙඩි තැබීම මෙහෙයවා තිබුණේ මාකදුරේ මධූෂ් බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
සමයං ඇතුළු එම රැඳවියන් බස් රථයෙන් කළුතර බන්ධනාගාරයෙන් පිටත්ව යද්දී එම ඔත්තුව මාකදුරේ මධූෂ් ලබාදී තිබුණේ ඊයේ වෙඩි ප්රහාරයට ලක්ව ජීවිතක්ෂයට පත් වූ බන්ධනාගාර නියාමකවරයා බවට චෝදනා එල්ල වී තිබුණා.
මෙම බනධනාගාර නියාමකවරයා පානදුර දකුණ ප්රදේශයේ පදිංචිකරුවෙකු වනවා.
ඔහු කිසියම් කටයුත්තක් සඳහා යමින් සිටියදී බොල්ගොඩ පාලම අසලදී වෙඩි ප්රහාරයට ලක්ව තිබුණා.
යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු අදාළ වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.
ටී-56 ගිනි අවියකින් එම බන්ධනාගාර නියාමකවරයා වෙඩි ප්රහාර 30ක් එල්ල කර ඇති බවයි පැවසෙන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පොලිස් කණ්ඩායම් 05ක් මගින් විමර්ශන ක්රියාත්මකයි.
ඒ අතරට බණ්ඩාරගම පොලීසියේ කණ්ඩායම් 03ක් ද අයත්.
වෙඩි තැබූ සැකකරුවන් පිළිබද මෙතෙක් කිසිවක් වාර්තා වී නැහැ.
මාකදුරෙ මධුෂ් සමග සබඳතා පැවැත් වූ මෙම බන්ධනාගාර නියාමකවරයා මේ වනවිට කුමන පාර්ශවයක් සමග සබඳතා පවත්වන්නේ දැයි සොයා ගැනීම පොලිස් විමර්ශන කණ්ඩායම්වල වැඩි අවධානයක් යොමු වී තිබෙනවා.




