බුද්ධශාසනයට ප්‍රමුඛස්ථානය මෙන්ම අනෙකුත් ආගම්වලට නිසි ගෞරවය ලැබෙන බවත් මේ තත්ත්වය තුළ වහාම ක්‍රියාත්මක වන පරිදි ජාතික ඒකාග්‍රතා කමිටුවක් ස්ථාපිත වී එය රටේ ජනාධිපතිවරයාගේ පාලනයට නතු විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
අද පාර්ලිමේන්තුවේ දී ඔහු මේ බව පවසා සිටියා.
ජාතික ආරක්ෂාව ගැන රජය කතා කරන විට ත්‍රීකුණාමලයේ ජයන්ති විහාරයේ සිදුවීම ජාතික ආරක්ෂාවට හිතකර ද අහිතකර ද කියා ප්‍රශ්න කරන බවත් 1951 එම විහාරස්ථානය ආරම්භ වී 2010 එය බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී 2014 පූජා භූමි ඔප්පු ලැබුණත් දැන් අර්බුධයක් නිර්මාණය වී බුදුපිළිම ප්‍රවාහනකරුවන් බවට පොලිසිය පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කර සිටියේ.
තවද මේ බුදුපිළිමය ඉවත් කරන්න අයිතියක් නොමැති නිසා වරද පිළිගෙන අන්තිමේ දී පොලිසිය බුදුපිළිමය නැවත ගෙනවිත් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මෙවැනි ගැටලු ඇති වූ විගස ඒවා පොලිසියට බාර දිය නොහැකි බවත් රටේ නායකයා මේ ප්‍රශ්න විසදිය යුතු බවත් සෙසු ආගම්වල මෙවැනි ගැටලු එන විට පවා එදා ඒ ගැනත් කතා කළ බවත් නියම බෞද්ධයා කෙසේ වුවත් අද බෞද්ධකම විකෘති කර විවිධ කණ්ඩායම් සිටින නිසා මේ තත්ත්වය තුළ ජාතික ඒකාග්‍රතා කමිටුවක් ඇති කරන ලෙසත් සඳහන් කර සිටියා.
ජනාධිපතිවරයාට මේ ප්‍රශ්නවලින් පැන නොගොස් මේවාට විසදුම් ලබා දිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පවසා සිටියේ.
අමරපුර මහා නිකායේ මහානායක නාහිමියන් ප්රමුඛ මහා සංඝරත්නයත් මේ ප්‍රශ්නයට මුල් වී ඇති සියලු කණ්ඩායම් ජනාධිපති ලේකම් කාර්යාලයට කැදවා මේ ගැටලුව විසදිය යුතු බවත් මෙවැනි ගැටලු ගණනාවක් රටේ ඇති නිසා ඒවට විධිමත් විසදුම් ලබා දි සාමය සංහිදියාව එකමුතුභාවය සැබෑ ජනතා සෛරීත්වය ශක්තිමත් කරන්න විපක්ෂය පවා සූදානම් බවත් පොලිසියට පන්සල් ඇතුළට ගොස් ස්වාමීන් වහන්සේලාට ගහන්න අයිතියක් නැති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
හින්දු, ඉස්ලාම්, කතෝලික ආගමික සිද්ධස්ථානවලට අදාළ ප්‍රශ්න ඇති වන විට සමගි ජන බලවේගය පැහැදිලි ස්ථාවරයේ සිට ගින්නක් ඇති වෙනවා වෙනුවට සාමය ඇති කරන්න කටයුතු කළ බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කටයුතු කරන ලෙසට රජයෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ත්‍රිවිධ හමුදාව, පොලිසිය, ආරක්ෂක අංශ විසින් රටේ සෛරීත්වය, භෞමික අඛණ්ඩතාව හා ඒකීයභාවය සුරක්ෂා කිරීම වෙනුවෙන් දැවැන්ත සේවාවක් ඉටු කළ නමුත් අද වන විට ආබාධිත රණවිරුවන්ට ගැටලු 3ක් ඇති බවත් 2025 අයවැය යෝජනාවට අනුව රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 15/2025 මගින් සියලුම රාජ්‍ය හා සන්නද්ධ සේවා නිලධාරීන්ගෙ විශ්‍රාම වැටුප් සංශෝධනය කරන්න යෝජනා වුවත් විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 2/2025 මගින් ත්‍රිවිධ සන්නද්ධ සේවා හමුදාවන්හි පොලිසිය සහ විශේෂ කාර්ය බලකායේ සේවයේ යෙදී සිටින විශ්‍රාම ලැබීමෙන් පසු වයස අවුරුදු 55 දක්වා වැටුප් සහ දීමනා ලබන විශ්‍රාමික නිලධාරියට මියගිය නිලධාරියාගේ වැන්දඹුවන්ට විශ්‍රාම වැටුප් ප්‍රතිශෝධනය නොලබන බවට චක්‍රලේඛයක් යොමු කර ප්‍රතික්ෂේප කර ඇති බවත් අයවැය යෝජනාවක් සම්මත වී පසුව විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂකවරයා එය වලංගු නැති බවට නියෝග නිකුත් කරන බවත් ඔහු ජනාධිපතිවරයාගේ යෝජනාව ප්‍රතික්ෂේප කරන්නේ කෙසේද කියා ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.
ජනාධිපති හිමිකම් ලබා දෙන විට අධ්යක්ෂ ජනරාල්වරු හිමිකම් කප්පාදු කරන බවත් 2025 යෝජනාවක් වහාම ක්‍රියාත්මක කළ යුතු බවත් මේවා විය නොහැකි බවත් මෙය කඩිනමින් නිවැරදි විය යුතු බවත් විපක්ෂ නායකවරයා පවසා සඳහන් කර සිටියේ
රටේ ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කරන රණවිරුවන් වෙනුවෙන් ලබා දුන් ස්ථාවර දීමනා පවා රජය කප්පාදු කර ඇති බවත් මෙවැනි අසාධාරණ සිදු නොකරන ලෙසත් මීට පෙර ක්‍රියාන්විතයේ රාජකාරියේ යෙදී සිටියදී සුනාමි ගුවන් අනතුරු ආදිය නිසා අතුරුදන් වූ ආරක්ෂක අංශවල සාමාජිකයන්ට සියලු හිමිකම් ලබා දුන්නද විශ්‍රාම වැටුප් අධ්යක්ෂ ජනරාල්වරයා විසින් අතුරුදන් වූවන් යළි පැමිණෙයි යැයි උපකල්පනය මත ස්ථාවර දීමනා ලබා නොදීමට කටයුතු කර ඇති බවත් මොහු ජනාධිපති පවා අභිබවා ගොස් ඇති බවත් මේවා රටේ ප්‍රතිපත්තියට විරුද්ධ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
බොහෝ අවස්ථාවල ආබාධිත රණවිරුවන්ගේ ගැටලු හා ප්‍රශ්නවලට විපක්ෂයේ සිටින විට සාකච්ඡා කළත් අද බලයට ආ පසු මොවුන් අමතක කර ඇති බවත් මොවුන්ට දැන්වත් සාධාරණත්වය ඉටු කරන ලෙසට ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
පොලිසිය භාර අමාත්‍යවරයා විසින් මත්ද්‍රව්‍ය ජාවාරම තුරන් කරන බවට ප්‍රකාශ කර ඇති බවත් එම සාධනීය පියවර අගය කළත් ඒවා ක්‍රියාත්මක කිරීමේ දී අපක්ෂපාතීව ක්‍රියාත්මක කළ යුතු බවත් විනිවිදභාවයෙන් යුතුව අපක්ෂපාතීව කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.
මත් ජාවාරම සේම ඔන්ලයින් ණය මාෆියාව පවා දරුණු ලෙස වර්ධනය වී රටේ ජනතාව සියදිවි නසා ගන්නා තැනට පත්ව ඇති බවත් අනීතික ණය දීම ගැන පාර්ලිමේන්තුවේ කතා කළත් පැහැදිලි විසදුමක් නොමැති බවත් මේ නිසා අත්තනගල්ලේ තරුණියන් පසුගිය දිනවල සියදිවි නසා ගෙන ඇති බවත් මෙගා කෑෂ් කියන ආයතනය හරහා ගත් ණය නිසා මේ තරුණිය සියදිවි නසා ගෙන ඇති බවත් පොලිය 500%ක් බවත් මෙයට හේතුව දුප්පත්කම වර්ධනය වීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මෙගාෆින් ලංකා, ඔන් ක්‍රෙඩිට්, අසාද් ඩිවලොප්මන්ට්, සුපර් මෑන් ආදී ආයතන රාශියක් රට පුරා ඇති බවත් මේ අනීතික ආයතන වසා දැමිය යුතු බවත් එසේම මේ අනීතික ආයතන මහ බැංකුවේ ලියුම් හදා දමා ණයකරුවන් පවා බිය ගන්වන බවත් ණය නොගෙව්වොත් දවසක් හෝ ප්‍රමාද වුවහොත් ඔවුන් වැඩකරන ආයතනවලට යවා තර්ජනය කරන බවත් මේ අනීතික ආයතනවලට විරුද්ධව නීති හදන්න පූර්ණ සහයෝගය ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
දෙසැම්බර් 11, 12 සහ 13 ශ්‍රී ලංකා දිනය ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවත් රට තුළ එකමුතුභාවය සහෝදරත්වය සංහිදියාව ජන කොට්ඨාසවලට ඇති ගැටලුවලට විසදුම් ලබා දීම බවත් මේ වෙනුවෙන් ලක්ෂ 3000ක් වෙන් කර ඇති බවත් මේ ලක්ෂ 3000 වියදම් කරන්න දින 7 ටෙන්ඩර් ක්රමයක ඇති කර ඇති බවත් ශ්‍රී ලංකා දිනය සදහා වෙන් කළ ලක්ෂ 3000න් අතුරුදන්වූවන්ට ලබා දෙන වන්දි ලබා දී සංහිදියා වැඩසටහන සදහා මූල්‍ය ශක්තිය ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.
සහජීවනය ගැන කතා කරන රජය මේ ලක්ෂ 3000 නාස්ති නොකර රටේ ජනතාවගේ ප්‍රශ්න විසදන්න ජාතික ඒකාග්‍රතාවක් ඇති කරන්න සංහිදියාව ඇති කරන්න කටයුතු කරන ලෙසත් ටෙන්ඩර්ක්රමවේද දින 7න් ක්‍රියාත්මක කර ගජමිතුරන්ට මුදල් ලබා දීමේ ක්‍රමවේදයෙන් බැහැර වන ලෙසත් මේ අපරාධය ගැන නිසි පියවර ගන්නා ලෙසත් විපක්ෂ නායකවරයා අද පාර්ලිමේන්තුවේ දී පවසා සිටියේ.




