ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති ක්‍රියාත්මක කළ අඛණ්ඩ වැඩවර්ජනය හේතුවෙන් ගොඩ ගැසී ඇති ලිපි ද්‍රව්‍ය සහ භාණ්ඩ බෙදා අවසන් කිරීම සඳහා සතියක පමණ කාලයක් ගතවන බව තැපැල් වෘත්තීය සමිති පවසනවා. නෙත් නිවුස් කළ විමසීමකදී ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසුවේ සිදුකළ වර්ජනයෙන් ජනතාවට සිදුවූ පාඩුව සහ එහි වගකීම දේශපාලන අධිකාරිය භාරගත යුතු බවයි.

සිය රාජකාරී කටයුතු ඊයේ මධ්‍යම රාත්‍රියේ සිටම ආරම්භ කළ බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. ඉල්ලීම් 19ක් මුල් කර ගනිමින් පසුගිය 17 වනදා දින සිට තැපැල් වෘත්තිය සමිති අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වුණා. කෙසේවෙතත් දින 07කට පසුව විෂය භාර අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සමග සිදු කළ සාකච්ඡාවකින් පසුව ඔවුන් ඊයේ දිනයේ සිය වර්ජනය අවසන් කළා.