පකිස්ථානයේ පැවැත්වෙන තුන්කොන් පන්දුවාර 20 - 20 ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය දැන් පැවැත්වෙනවා.

ඒ, සත්කාරක පකිස්ථානය හා ශ්‍රී ලංකාව අතරයි.

අවසන් මහා තරඟය පැවැත්වෙන්නේ පකිස්ථානයේ රාවල්පිණ්ඩි ක්‍රීඩාංගනයේදීයි.

මෙම තරඟාවලියේ ශ්‍රී ලංකාව හා පකිස්ථානය අවස්ථා දෙකකදී එකිනෙකා මුණ ගැසුනු අතර එහිදී කණ්ඩායම් දෙකම එක් තරඟය බැගින් ජය ගත්තා.

ශ්‍රී ලංකාව අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගත්තේ පකිස්ථානය සමග අවසන් වරට පැවති තරඟයෙන් තියුණු ජයක් අත්කර ගනිමින්.

ශ්‍රී ලංකාවේ පවතින ආපදා තත්ත්වයෙන් ජීවිතක්ෂයට පත්වූවන් සිහිපත් කරමින්, ශ්‍රී ලංකා සහ පකිස්ථාන ජාතික පිරිමි කණ්ඩායම් අද පැවැත්වෙන තුන්කොන් තරඟාවලියේ අවසන් තරඟයට පෙර විනාඩියක නිශ්ශබ්දතාවක් රැකීමට ද කටයුතු කළා.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් පකිස්ථාන නායකයා මුලින්ම තීරණය කළේ පන්දු රැකීමටයි.

ඒ අනුව ශ්‍රී ලංකා පිළ පළමුවෙන් පන්දුවට පහර දෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම කිසිදු වෙනසකින් තොරව අද තරඟයට ක්‍රීඩා කරන අතර පකිස්ථාන කණ්ඩායමට ප්‍රබල වේග පන්දු යවන ක්‍රීඩක ෂහීන් ෂා අෆ්රිඩි කැඳවා තිබෙනවා.

මේ අතර, පාකිස්තාන තරඟ සංචාරයේ ලැබෙන සියලුම මුදල් සහ තරග ගාස්තු ආපදාවලින් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් පරිත්‍යාග කිරීමට ක්‍රිකට් ක්‍රීඩකයින් තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මහතා සිය සමාජ මාධ්‍ය හරහා සටහනක් තබමින් සඳහන් කර සිටියේ, ගංවතුර සහ නායයෑම් හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් මුහුණ දී ඇති පීඩනකාරී තත්ත්වය ගැන ක්‍රීඩකයින් සහ සහායක කාර්යමණ්ඩලය සිය කණගාටුවට ප්‍රකාශ කරන බවයි.

එමෙන්ම තමන් ඇතුළු කණ්ඩායම යළි දිවයිනට පැමිණි පසු තවදුරටත් උපකාර කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු එහි සඳහන් කර තිබුණා.