දකුණු මුහුදු තීරයේ ප්‍රවාහනය කරමින් තිබූ හෙරොයින් කිලෝ ග්‍රෑම් 53ක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්දෙනෙකු නොවැම්බර් මස 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.

ඒ, රැඳවුම් භාරයේ පසුවූ එම සැකකරුවන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා හමුවට අද ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

එහිදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් වී නොමැති බවත් සැකකරුවන් රිමාන්ඩ් භාරයට පත් කරන ලෙසත් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රත්වරයා සැකකරුවන් රිමාන්ඩ් භාරයට පත් කිරීමට නියෝග කළ අතර අදාල මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවන ලෙසත් නියෝග කළා.