ශ්‍රී ලංකා මහ බැංකුව පාර්ලිමේන්තුවේ රාජ්‍ය මූල්‍ය පිළිබඳ කාරක සභාව වෙත කැඳවන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ, ලිපියක් යොමු කරමින්. ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් අච්චු ගසා ඇත්නම් එම පුළුල් ඒකාබද්ධ මුදල් සැපයුම පිළිබඳව කරුණු දැක්වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව එලෙස රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව වෙත කැඳවන ලෙසයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා එම ලිපියෙන් ඉල්ලා ඇත්තේ. මුදල් අච්චු ගැසීම පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා නිකුත් කළ නිවේදනයකට ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා විසින් පසුගියදා ප්‍රතිචාර දක්වා තිබෙනවා. ආණ්ඩුව විසින් මුදල් අච්චු ගැසීමක් සිදුකර නැති බවත් එහි වගකීම ශ්‍රී ලංකා මහ බැංකුවට පවතින බවත් එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සිය ලිපියෙන් පෙන්වා දෙන්නේ.