අයහපත් කාලගුණය හේතුවෙන් පූර්ණ සහ අර්ධ හානියට පත් නිවාස හඳුනා ගැනීම නිසි ක්‍රමවේදයකට අනුව සිදු කරන ලෙසත්, වන්දි ලබා දීම සඳහා අවශ්‍ය නිවැරදි දත්ත කාර්යක්ෂමව ලබා ගැනීම සදහා විශේෂ ක්‍රමවේදයක් සකස් කරන ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
නිවාස සංවර්ධන අධිකාරියේ සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ අද පෙරවරුවේ පැවති හමුවකදී ජනාධිපතිවරයා එම උපදෙස් ලබා දී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් හානියට පත් නිවාස සහ ඊට අදාළ වන්දි ලබා දීමේ ක්‍රියාවලිය සොයා බැලීමේ අරමුණින් මෙම සාකච්ඡාව කැඳවා තිබුණා.
එවැනි ව්‍යසනයකට ජනතාව නැවත ලක් නොවන අයුරින් අවදානම් සහිත ප්‍රදේශවල ජීවත් වන ජනතාවට දීර්ඝ කාලීන විසඳුමක් ලබා දීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා, ඒ සඳහා නිවැරදි දත්ත හඳුනා ගන්නා ලෙසද නිලධාරීන්ට උපදෙස් ලබාදි තිබෙනවා.
නායයෑම් හේතුවෙන් නිවාස 1289ක් පූර්ණ හානියට පත්ව ඇති අතර නිවාස 44,574ක් අර්ධ වශයෙන් හානියට පත්ව තිබෙන බව දැනට සිදුකරන ලද සමීක්ෂණවලදී තහවුරු වී ඇති බවයි නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් මෙහිදී පෙන්වා දී ඇත්තේ.
නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.




