‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් ඇති වූ ආපදා හේතුවෙන් සිදුවූ පුද්ගල මරණ සංඛ්‍යාව 474ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
තවමත් අතුරුදන්ව ඇති සංඛ්‍යාව 356ක්.
දිස්ත්‍රික්ක 25ටම මෙමගින් බලපෑම් එල්ල වී ඇති අතර පීඩාවට පත් පවුල් සංඛ්‍යාව හාරලක්ෂ හතලිස් අට දහස් අටසිය දාහතක්.
ඒවායේ ජීවත් වූ පහළොස් ලක්ෂ අසූ හය දහස තුන්සිය විසිනව දෙනෙකු බලපෑමට ලක්ව සිටිනවා.
පවුල් 53,758කට අයත් පුද්ගලයින් දෙලක්ෂ එක්දහස් අටසිය හැත්තෑ පස් දෙදෙනෙකු රඳවා සිටින්නේ සහන සේවා මධ්‍යස්ථාන 1,385ක් තුළයි.
නිවාස 971කට පූර්ණ හානි සිදුව ඇති බවත් තවත් නිවාස 40,358කට අර්ධ හානි සිදුව ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
මේ අතර අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ වසා දැමුණු වනජීවි ජාතික උද්‍යාන කිහිපයක් සහ සංචාරක නිවාස කිහිපයක් අද සිට විවෘත කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ඒ අනුව විල්පත්තු ජාතික උද්‍යානයේ හුණුවිලගම පිවිසුම, යාල ජාතික උද්‍යානයේ පලටුපාන පිවිසුම, මින්නේරිය ජාතික උද්‍යානය සහ කවුඩුල්ල ජාතික උද්‍යානය එලෙස විවෘත කිරීමට නියමිතයි.
එම උද්‍යානවල ඇතැම් මාර්ග මේ වන විටත් ජලයෙන් යටවී ඇති බැවින් මාර්ග පද්ධතියෙන් වාහන ගමනාගමනය සඳහා සුදුසු කොටස් පමණක් සංචාරකයින් සඳහා විවෘත කරන බවයි පරිසර අමාත්‍යාංශය පැවසුවේ.
සංචාරක නිවාස කිහිපයක්ද අද සිට විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව කුමන ජාතික උද්‍යානයේ තුම්මුල්ල හා කිරිගල්බේ සංචාරක නිවාස, හෝටර් තැන්න ජාතික උද්‍යානයේ ගිනිහිරිය හා මහ එළිය සංචාරක නිවාස, විල්පත්තුව ජාතික උද්‍යානයේ මරදන්මඩුව වන නිවහන, මින්නේරිය ජාතික උද්‍යානයේ රඹවිල සංචාරක නිවාසය සහ යාල ජාතික උද්‍යානයේ එක කොටසේ හීන් වැව, ඔන්ඩච්චි පරණ බුතව, නව බුතව හා මහා සීලව යන සංචාරක නිවාස එලෙස විවෘත වනු ඇති.




