නාවික හමුදාව, ශ්‍රී ලංකාවට දකුණු දිග ගැඹුරු මුහුදේ සිදුකල විශේෂ නාවික මෙහෙයුමකදී, විෂ මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන උර එකොලහක් (11) ප්‍රවාහනය කරමින් තිබූ දේශීය බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් පස් දෙනෙකු (05) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබෙනවා.

එම බහුදින ධීවර යාත්‍රාව සහ සැකකරුවන් අද උදෑසන (24) දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙනවිත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් සිදුකල විශේෂඥ පරීක්‍ෂාවේදී, එම උර තුල අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකසිය හැත්තෑ දෙකකට (172) අධික තොගයක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් විසි එකකට (21) කට අධික තොගයක් ඇති බවට තහවුරුවි තිබෙනවා.

එම මත්ද්‍රව්‍ය තොගය නිරීක්‍ෂණය සඳහා ගරු ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ සහභාගී වූ අතර, එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාද එක්වි තිබෙනවා.

මෙම මත්ද්‍රව්‍ය තොගය නිරීක්‍ෂණයට එක්වූ ගරු ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යතුමන් අදහස් දක්වමින්, ‘මතින් තොර රටක් - නිරෝගී පුරවැසි දිවියක්’ යන රජයේ දැක්මට සමඟාමීව ක්‍රියාත්මක කර ඇති ‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සියළුම බුද්ධි අංශ සැලැස්මක් සහිතව මත්ද්‍රව්‍ය වැටලීමේ ක්‍රියාන්විත මනා සංවිධානයකින් යුතුව සහ තීව්‍ර ලෙස දියත් කර ඇති බවත්, රටතුලට මත්ද්‍රව්‍ය රැගෙන එන ජාවාරම්කරුවන් හට ඒ සඳහා කිසිදු අවස්ථාවක් නොමැති බවත්, මෙම නිතී විරෝධී සහ සමාජ විනාශකාරි කටයුතු වලින් ජාවාරම්කරුවන් හට ඉවත්වන ලෙසත් අවධාරනය කෙරුණා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගරු ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යතුමන්, රටේ ඇතිවූ ජාතික ආපදා තත්වය හමුවේ ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු රාජ්‍ය යාන්ත්‍රනය මානුෂීය අධාර සහ ආපදා සහන මෙහෙයුම් සඳහා කැපවී සිටියදී වුවද, ජාතික ආරක්‍ෂාවට සහ මහජනතාවගේ ආරක්‍ෂාවට විශාල බලපැමක් සිදුකරනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා කිසිදු ඉඩක් නොතබන බවත්, මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට සහ ඊට අනුබල දෙන්නන් හට කිසිදු ගැලවීමක් නොමැති බවත්, මත්ද්‍රව්‍ය කිසිදු ආකාරයකින් රටතුලට ගෙන ඒමට ඉඩ නොතබන බවත් පවසනු ලැබුවා.

ගරු ජනාධිපතිතුමාගේ උපදෙස් මත, ආරක්‍ෂක අමාත්‍යාංශයේ අධීක්‍ෂණයෙන්, රාජ්‍ය බුද්ධි සේවාව ඇතුළු සියළුම දේශීය හා විදේශීය බුද්ධි සේවාවන් සමඟ අනෙකුත් නිතී ක්‍රියාත්මක කරන ආයතන සහ සන්නද්ධ හමුදා ඒකාබද්ධ කරගෙන මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ මැඩලීමට උපාය මාර්ගීක සැලසුම් තීව්‍ර ලෙස ක්‍රියාත්මක කර ඇති බවත්, මුහුදු මාර්ගයෙන් සිදුවන නීති විරෝධී කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමේදී, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව ප්‍රමුඛව අනෙකුත් හමුදා හා ශ්‍රී ලංකා පොලීසිය, පොලිස් විශේෂකාර්ය බළකාය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය, සහ නීතිය ක්‍රියාත්මක කරනු ලබන දේශීය ආයතන සමඟ මෙන්ම, ජාත්‍යන්තර ආයතන හා එක්ව මනා සම්බන්ධීකරණයෙන් සහ අන්‍යෝන්‍ය සහයෝගයෙන් කටයුතු කරමින් ඉතා සාර්ථක මෙහෙයුම් ගණනාවක් සිදුකර අත්අඩංගුවට ගැනීම් රාශියක් අඛණ්ඩව සිදුකරනු ලැබූ බවත් පැවසූ ගරු ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යතුමන්, මෙම මෙහෙයුම සඳහා දායකවූ සියළුම දෙනා වෙත සහ නාවික හමුදාධිපති වෙත ගරු ජනාධිපති තුමා වෙනුවෙන් ප්‍රනාමය පල කරන බවත් පවසන ලැබුවා.

මත්ද්‍රව්‍ය ජාවාරම හා සම්බන්ධ තොරතුරු ලබා දීම සඳහා 1818 දරන විශේෂ ක්‍ෂණික දුරකථන ඇමතුම් අංකය ස්ථාපනය කර ඇති බවත් ඔස්සේ නිවැරදි තොරතුරු ලබා දී විශේෂ ත්‍යාග හිමි කර ගැනීමට මහජනතාවට ‍‍අවස්ථාව උදා කර දී ඇති බවත් පැවසූ ගරු ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යතුමන්, නිතීය ක්‍රියාත්මක කරන ආයතන වෙත මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සම්බන්ධ තොරතුරු ලබා දෙන ලෙස මහජනතාව වෙතින් ඉල්ලා සිටිමින්, මත්ද්‍රව්‍ය ව්‍යසනය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා වගකීම් සහගත මාධ්‍යකරණයේ යෙදෙන මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් ගේ කාර්යය භාරය ඇගයීමටද, එහිදී නියෝජ්‍ය ආරක්‍ෂක ඇමතිතුමා විසින් කටයුතු කර තිබෙනවා.

තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් බහුදින ධිවර යාත්‍රාව, අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් එකසිය හැත්තෑ දෙකකට (172) අධික තොගය සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් විසි එකකට (21) කට අධික තොගය සමඟ සැකකරුවන් පස්දෙනා (05) ඉදිරි වැඩිදුර විමර්ශන හා නීතිමය පියවර සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාර දීමට කටයුතු කර තිබෙනවා.