මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වැඩබලන දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතාට අපහාස වන ආකාරයේ ප්‍රකාශ සිදු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් සමාජ ක්‍රියාකාරිකයකු වන සංජය මහවත්ත මහතාට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කළා.

තමන්ට සිදු කළ අපහාසය වෙනුවෙන් රුපියල් මිලියන 500ක වන්දියක් අය කර දෙන ලෙස ඉල්ලා සංජය මහවත්ත මහතාට එරෙහිව දියවඩන නිලමේවරයා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු සාලිය අබේවර්ධන මහතා මෙම වාරණ නියෝගය නිකුත් කරනු ලැබුවා.

පසුගිය සැප්තැම්බර් මස 29 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට සංජය මහවත්ත මහතා මාධ්‍යවලට ප්‍රකාශයක් සිදු කරමින් නිකුත් කළ ප්‍රකාශවලින් සිය කීර්තියට හානියක් සිදුවූ බව සඳහන් කරමින් වැඩ බලන දිය වඩන නිලමේ වරයා විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.

ඒ අනුව මෙම වාරණ නියෝගය නිකුත් කළ දිසා විනිසුරුවරයා නඩුව යළි නොවැම්බර් 10 වනදා කැඳවීමට ද නියම කළා.