ඉන්දියාවේ දිල්ලි නුවර රතු බලකොටුව ආසන්නයේ මෝටර් රථයක ඊයේ සිදු වූ පිපිරීම එම මෝටර් රථය තුළ සිටි මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු විසින් සිදුකර ඇති බවට සැක පළව තිබෙනවා.

වෛද්‍ය උමාර් මොහොමඩ් නමැති පුද්ගලයා එලෙස එම මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කර ඇති බවයි ඉන්දීය ආරක්ෂක අංශ සැක පළ කරන්නේ.

ඒ අනුව වෛද්‍ය උමාර් මොහොමඩ් නමැත්තාගේ මව සහ සහෝදරයින් ප්‍රශ්න කිරීම සඳහා පොලිස් භාරයට ගෙන ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තාවල සඳහන්.

මේ අතර එම පිපිරීමට සති තුනකට පෙර ජයිෂ් ඊ මොහොමඩ් නමැති ත්‍රස්ත සංවිධානයට සහාය දක්වන පෝස්ටර් ශ්‍රීනගර්හි ප්‍රදේශ කිහිපයක ප්‍රදර්ශනය කර තිබීම සම්බන්ධයෙන් ද විමර්ශන නිලධාරින්ගේ අවධානය යොමුව තිබෙනවා.

එම පිපිරීමෙන් පසු ඉන්දීය අභ්‍යන්තර කටයුතු අමාත්‍ය අමිත් ෂාගේ ප්‍රධානත්වයෙන් ඉහළ මට්ටමේ ආරක්ෂක සමාලෝචන රැස්වීමක් ද පවත්වා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.

ඊයේ සිදුවූ එම පිපිරීමෙන් පුද්ගලයින් 09 දෙනෙකු මියගොස් 20 දෙනෙකු තුවාල ලැබුවා.

ඉන්දියාවේ ප්‍රමුඛතම ත්‍රස්ත විමර්ශන ආයතනය වන ජාතික විමර්ශන ඒජන්සිය සහ ජාතික ආරක්ෂක බලකාය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරනවා.

හර්යානාහි අසල්වැසි නගරයක් වන ෆරීදාබාද් නගරයට ආසන්නයේ තිබී පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 2,900ක තොගයක් ඉන්දීය ආරක්ෂක අංශ විසින් සොයාගෙන ඇත්තේ ද ඊයේ දිනයේදීයි.

පිපිරීමෙන් පසුව මුම්බායි, කොල්කටා, බැංගලෝර්, ජායිපූර්, හර්යානා, පන්ජාබ්, හයිද්‍රාබාද්, උත්තර් ප්‍රදේශ් සහ උත්තර්කාන්ඩ් යන ප්‍රාන්ත මෙන්ම හෙට දිනයේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත බිහාර් ප්‍රාන්තයේ ද ආරක්ෂාව තරකර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

කේරළ ප්‍රාන්ත බලධාරින් ද ප්‍රාන්තය පුරා ආරක්ෂාව තරකරන ලෙස පොලීසියට උපදෙස් ලබාදී තිබෙනවා. ප්‍රධාන දුම්රිය ස්ථාන සහ ගුවන්තොටුපළවල ද ආරක්ෂාව තරකර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.