මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මහා මංගල්‍යය සඳහා දින නියම කර තිබෙනවා.

ඒ අනුව ජුලි මස 25 වනදා සිව් මහා දේවාලයන්හි කප් සිටුවීමෙන් අනතුරුව ඇසළ පෙරහර මංගල්‍යය ආරම්භ කෙරෙන බවයි දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සඳහන් කළේ.

දේවාල අභ්‍යන්තර පෙරහැර දින 05ක් පැවැත්වීමෙන් අනතුරුව ප්‍රථම කුඹල් පෙරහැර ජුලි 30 වනදා වීදී සංචාරය කිරීමට නියමිත බවයි දියවඩන නිලමේවරයා පැවසුවේ.

අගෝස්තු 04 වනදා පළමු රන්දෝලි පෙරහැර වීදී සංචාරය කරන බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සඳහන් කළා.

මහනුවර ඇසළ පෙරහැර වීදී සංචාරය කරන දින වකවානු සහ ඊට අදාළ සංවිධාන කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ද ශ්‍රී දළදා මාලිගාවේදී ඊයේ පවත්වා තිබෙනවා.