එන්.බී.1.8.1 ලෙස හඳුන්වන නව කොව්ඩ් ප්‍රභේදය ආසාදනය වූ රෝගීන් ගෝලීය වශයෙන් නැවත ඉහළ යමින් පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ අධ්‍යක්ෂ, මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසනවා.

ඔමික්‍රොන්හි උප පරම්පරාවක් වන මෙය ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධීක්ෂණය යටතේ පවතින ප්‍රභේදයක් ලෙස නම් කර ඇති බවයි ඔහු කියා සිටියේ.

මෙම තත්ත්වය යටතේ ජනතාව හැකි සෑම විටම සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම සහ විධි අනුගමනය කිරීමට පියවර ගත යුතු බවද මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා වැඩිදුරටත් සඳහන් කළා.
මේ අතර කොවිඩ් ප්‍රභේද කිහිපයක් ආසාදිත රෝගීන් කිහිපදෙනෙකු මෙරටින්ද හඳුනාගෙන ඇති බවයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන්ගේ සංගමය පැවසුවේ.

එම සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පෙර පරිදි සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේද අනුගමනය කරන ලෙසයි.