බස්නාහිර, සබරගමුව, වයඹ, උතුරු සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අද දිනයේ මිලි මීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසුවේ දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 01.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

මේ අතර දිස්ත්‍රික්ක 10ක් සඳහා තවදුරටත් නායයෑමේ අනතුරු ඇගවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

එහි ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා සඳහන් කළේ කොළඹ, කළුතර, ගාල්ල, මහනුවර, කෑගල්ල, මාතර, රත්නපුර, බදුල්ල, හම්බන්තොට සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට නිකුත් කර ඇති නායයෑම් අනතුරු ඇගවීම් තවදුරටත් දීර්ඝ කර ඇති බවයි.

වාරි මාර්ග දෙපාර්තමේන්තුව මගින් පාලනය වන ජලාශවල පවතින ජල මට්ටම් සම්බන්ධයනේ ද වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජල කළමනාකරණ ඉංජිනේරු එච්.ඩී.පී.එස්. හේරත් මහතා අදහස් පළ කළා.

මේ අතර මේ දිනවල පැවති ආපදා තත්ත්වයන් සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රදීප් කොඩිප්පිලි මහතා කරුණු දැක්වූවා.