සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්තාන කණ්ඩායම අතර අද පැවැත්වීමට නියමිතව තිබූ දෙවන එක්දින ක්‍රිකට් තරගය කල් දමා තිබෙනවා.

ඒ, ආරක්‍ෂක හේතූන් මත එම සංචාරයෙන් ඉවත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කර ඇති ඉල්ලීම හේතුවෙන්.

දෙරට අතර පළමු එක්දින තරගය ආරම්භවීමට මිනිත්තු කිහිපයකට පෙර ඉස්ලාමාබාද් නුවර සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකා සංචිතයේ සිටින ක්‍රීඩකයින් කිහිප දෙනෙකු නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට තීරණය කිරීමත් සමග මෙම අර්බුදකාරී තත්ත්වය හටගෙන තිබුණා.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ රාත්‍රි 11 ට පමණ නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියේ පකිස්තානයේ සංචාරයක නිරත වන ජාතික කණ්ඩායමේ සාමාජිකයන් කිහිප දෙනෙකු ආරක්‍ෂක හේතූන් මත නැවත ශ්‍රී ලංකාව බලායාමට ඉල්ලීමක් කර ඇති බව කණ්ඩායමේ කළමණාකාරිත්වය ඊයේ උදෑසන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දුන් බවයි.

ඒ අනුව වහාම ක්‍රීඩකයින් සමග සම්බන්ධ වි සංචාරක කණ්ඩායමේ සෑම සාමාජිකයෙකුගේම ආරක්‍ෂාව සහතික කිරිම සදහා පකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය සහ අදාළ බලධාරීන් සමග සමීප සම්බන්ධීකරණයෙන් එවැනි සියලු ගැටළු නිසි ලෙස විසදන බවට සහතික වූ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

එම තත්ත්වය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයින්ට, සහාය කාර්ය මණ්ඩලයට හා කණ්ඩායමේ කළමණාකාරිත්වයට උපදෙස් ලබාදී ඇත්තේ තරග සංචාරය නියමිත පරිදි කරගෙන යන ලෙසයි.

සිය නියෝගය නොතකා සංචාරක කණ්ඩායමේ ඕනෑම ක්‍රීඩකයෙකු හෝ අනෙක් සාමාජිකයෙකු නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට කටයුතු කළහොත්, තරග සංචාරය බාධාවකින් තොරව ඉදිරියට කරගෙන යාම සහතික කිරීම සදහා වහාම ආදේශක ක්‍රීඩකයින් යොදවන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළා.

අදාළ නියෝග නොතකා කිසියම් ක්‍රීඩකයෙකු හෝ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු නැවත ශ්‍රී ලංකාවට පැමිණියහොත් ඔවුන්ගේ ක්‍රියාවන් සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක් පවත්වා සුදුසු තීරණයක් ගන්නා බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

මේ අතර අදාළ ගැටළුව සම්බන්ධයෙන් සාකච්ඡා ඊයේ රාත්‍රිය වනතුරුම පවත්වා ඇති බවද වාර්තා වනවා.

මතුව ඇති තත්ත්වය හේතුවෙන් අද දින පැවැත්වීමට නියමිතව තිබූ තරගය හෙට දිනයේදීත් ලබන 15 වනදා පැවැත්වීමට නියමිතව තිබු තරගය 16 වන දිනය දක්වාත් කල් දැමීමටයි පකිස්තාන ක්‍රිකට් බලධාරින් කටයුතු කර ඇත්තේ.