පකිස්තානය සමග ක්‍රිකට් තරඟවලට සහභාගී වීමට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට ඇති අවස්ථා පිළිබඳව ඉන්දීය රජය විශේෂ තීරණයක් ගෙන තිබෙනවා. ඒ දෙරට අතර උද්ගතව ඇති දේශපාලන සහ ආරක්ෂක මතගැටුම් හේතුවෙන්. ඒ අනුව ඉන්දීය රජයේ ස්ථාවරය පැහැදිලි කරමින් එරට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය නිවේදනයක් මගින් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ඉන්දියාව, පාකිස්තානය සමග කිසිදු ද්විපාර්ශ්වික ක්‍රිකට් තරඟාවලියක් ක්‍රීඩා නොකරනු ඇති. දෙරට අතර කිසිදු තරඟාවලියකට ඉන්දියාව සත්කාරකත්වය ලබාදීමක් හෝ කිසිදු සංචාරයක් හෝ සිදු නොකරනු ඇති. එහෙත් පාකිස්තාන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඉන්දියාව විසින් සත්කාරකත්වය දරන වෙනත් කණ්ඩායම් ද සහභාගී වන ජාත්‍යන්තර තරඟාවලි සඳහා ක්‍රීඩා කළ හැකි වනවා. කෙසේවෙතත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කරන තරඟාවලිවලදී පකිස්තානය සමග ක්‍රිඩා කිරීමට ඉන්දියාවට අවසර ලබාදී තිබෙනවා. එමෙන්ම වෙනත් බහු පාර්ශ්වීය තරඟාවලිවලදී ද පකිස්තානය සමග ක්‍රිඩා කිරීමට ඉන්දියාවට අවසර හිමිවනු ඇති. එහෙත් ඉන්දීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පාකිස්තානය විසින් සත්කාරකත්වය දරන බහු පාර්ශ්වික තරඟාවලිවලට සහභාගී විය හැකිද යන්න සම්බන්ධයෙන් මෙමගින් පැහැදිලි කර නැහැ. නව මාර්ගෝපදේශ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී ඉන්දියාවට පකිස්තානය සමග ක්‍රීඩා කිරීමට හැකි වනවා. ඉන්දියාව සහ පාකිස්තානය සහභාගී වන තරඟය සැප්තැම්බර් 14 වන දින ඩුබායි හිදී පැවැත්වීමට නියමිතයි. ඉකුත් අප්‍රේල් මාසයේ පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු දෙරට අතර දේශසීමා ගැටුම්කාරී තත්ත්වයක් මතු වුණා. ඉන් පසුව ඉන්දියාව සහ පාකිස්තානය එකිනෙකට මුණ ගැසෙන පළමු අවස්ථාව මෙයයි.