ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන ඊයේ රාත්‍රියේ මෙරටට රැගෙන ආ සංවිධානාතා්මක අපරාධකරුවන් 05 දෙනාගේ විමර්ශන මේ වන විට ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත, පානදුරේ නිලංග යන තිදෙනා ඉදිරි විමර්ශන සඳහා යොමු කර ඇත්තේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙතයි. බැකෝ සමන් සහ තැඹිලි ලහිරු යන දෙදෙනා වැඩිදුර විමර්ශන සඳහා බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත යොමු කර තිබෙනවා.
ඝාතන සිද්ධීන්, මත්ද්‍රව්‍ය චෝදනා සහ කප්පම් ගැනීම් සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව දීර්ඝ විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ් වුට්ලර් මහතා පැවසුවේ.
කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත, බැකෝ සමන්, පානදුරේ නිලංග සහ තැඹිලි ලහිරු යන සංවිධානාත්මක අපරාධකරුවන් ඊයේ රාත්‍රී 07: 25ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන එනු ලැබුවා.
ඒ, ඉන්දුනීසියාවේ ජකර්තා නුවර සිට විශේෂ ආරක්ෂාවක් මධ්‍යයේ ගුවන් යානයකින්.
ඔවුන් කටුනායක ගුවන් තොටුපොළට රැගෙන එන අවස්ථාවේ එම පරිශ්‍රයේ සහ ඉන් පිටතද විශේෂ ආරක්ෂාවක් යොදවා තිබුණා.
මෙම පිරිස කටුනායක ගුවන් තොටුපොළට රැගෙන එන අවස්ථාවේ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ් වුට්ලර් මහතා ඇතුළු පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු උසස් නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ පාතාලය මර්දනය කිරීමට ආරම්භ කර ඇති සැලසුම්වල සාර්ථක ප්‍රතිඵල මේ වන විට ලැබෙමින් පවතින බවයි. පාතාල අපරාධ කණ්ඩායම් රටේ ජනතාව පීඩාවට පත් කරමින් සිදුකරන ක්‍රියාවන් නැවැත්වීමට සුදුසු කාලය දැන් එළඹ ඇති බවද ඔහු පැවසුවා.
පාතාලය මර්දනය කිරීම සඳහා කැපවූ පොලිස් නිලධාරීන්ගේ උසස්වීම් ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කරන බවයි මහජන ආරක්ෂක අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසුවේ.
මෙම මෙහෙයුමට සම්බන්ධ වූ ඉන්දුනීසියානු පොලිස් නිලධාරීන් සහ මෙරට පොලිස් නිලධාරීන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ඇගයීමට ලක්වූ අතර ඉන්දුනීසියානු පොලිස් නිලධාරීන්ට සමරු ඵලකයක්ද පිරිනැමීමට ආමාත්‍යවරයා කටයුතු කළා.



