රට තුළ පවතින ආපදා තත්ත්වයන් හේතුවෙන් ගත යුතු හදිසි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී මේ වන විට විශේෂ සාකච්ඡාවක් ආරම්භ වී තිබෙනවා.

ආපදාවලට ලක්ව ඇති සියලුම දිස්ත්‍රික්කවල පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට එම සාකච්ඡාව සඳහා සහභාගී වන ලෙසයි පාර්ලිමේන්තුවේ සභානායකවරයා විසින් දැනුම් දී ඇත්තේ.

මේ අතර, පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පොළොන්නරුව - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය ගල්ලෑල්ල ප්‍රදේශය ජලයෙන් යට වී තිබෙනවා.

ඒ හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ගමනාගමනය අද දින සිට නැවත දැනුම්දෙන තුරු සම්පූර්ණයෙන් වසා තැබීමටයි පියවර ගෙන ඇත්තේ.

මහජනතාවට සිය කටයුතු සඳහා දුම්රියෙන් ගමන් කළ හැකි බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළා.