හිටපු අමාත්‍යවරයෙකු වන ප්‍රසන්න රණතුංග මහතාව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, දූෂණ චෝදනාවක් මතයි.

අද පෙරවරුවේ හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටියා.

ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍යවරයා එලෙස පැමිණි බවටයි වාර්තා වුණේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැවුසවේ 2021 වසරේදී සංචාරක අමාත්‍යංශය යටතේ ඇති ආයතන වන ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා සංචාරක ප්‍රර්වර්ධන කාර්යාංශය, ශ්‍රී ලංකා හෝටල් කළමණාකරණ ආයතනය සහ ශ්‍රී ලංකා සම්මුති කාර්යාංශය යන ආයතන හතරෙහි සේවකයින් සඳහා වූ සෘජු වෛද්‍ය රක්ෂණයන්, රාජ්‍ය සංස්ථාවක් වන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙන් ලබා ගැනීමේ දී සිදුවූ දූෂණයක් සම්බන්ධයෙන් පර්යේෂණ ක්‍රියාත්මක බවයි.

එහිදී කොමිස් මුදලක් ගෙවීමකින් තොරව සෘජුව එම රක්ෂණයන් ලබා ගැනීමට හැකිව තිබිය දී තැරැව්කාර සමාගමක් ඒ සඳහා මැදිහත් කරගනිමින් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විසින් නොගෙවිය යුතු රුපියල් හතළිස් හත්ලක්ෂ පනස් දහස් අටසිය විසි අටයි ශත හැත්තෑ දෙකක මුදලක් අදාළ තැරැව්කාර සමාගම වෙත ගෙවීමට සලස්වා ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

එයින් එම තැරැව්කාර සමාගමට අයුතු වාසියක් සිදු කිරීම සහ එනයින්ම ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට රුපියල් හතළිස් හත්ලක්ෂ පනස් දහස් අටසිය විසි අටයි ශත හැත්තෑ දෙකක පාඩුවක් සිදු කිරීම තුළින් හිටපු සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය වශයෙන් කටයුතු කළ ප්‍රසන්න රණතුංග මහතා දඬුවම් ලැබිය හැකි වරදක් සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස අත්අඩංගුවට ගත් බවයි අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැවසුවේ. අත්අඩංගුවට ගන්නා ලද සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.