පාලන මිලට වඩා ඉහළ මිලකට පානීය ජල බෝතලයක් විකිණීමේ චෝදනාවට වරදකරු කෙරුණු කොලොන්නාව ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයකට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ රුපියල් ලක්ෂ හයක දඩයක් නියම කලා.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නාරාහේන්පිට දිස්ත්‍රික් කාර්යාලය විසින් මෙම නඩුව ගොනු කර තිබුණා.

සැකකාර ව්‍යාපාරික ආයතනය විසින් මිලිමීටර් පන්සීයේ පානීය ජල බෝතලයක් සඳහා වූ පාලන මිල ලෙස රුපියල් 70/- නියම කර තිබියදී එම ජල බෝතලය රුපියල් 90/- කට විකිණීම තුළින් වරදක් සිදු කර ඇතැයි චෝදනා කරමින් මෙම නඩුව ගොනු කර තිබුණා.

මෙම නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේදී සැකකාර ආයතනය අධිකරණය හමුවේ වරද පිළිගත්තා.

දඩුවම් නියම කිරීමට පෙර අධිකරණය හමුවේ කරුණු දැක්වූ පාරිභෝගික සේවා අධිකාරියේ විමර්ශන නිලධාරීන් මෙම වරද සඳහා රුපියල් ලක්ෂ පහේ සිට රුපියල් ලක්ෂ පනහක් දක්වා දඩ නියම කිරීමට අදිකරණයට හැකියාව තිබෙන බව පෙන්වා දුන්නා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය මෙම ව්‍යපාරික ආයතනයට රුපියල් ලක්ෂ හයක දඩයක් නියම කළා.