පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීමකින් තොරව යුද හමුදා හිටපු බුද්ධි අංශ සාමාජිකයෙකු වන කර්නල් කේ.එස්. මද්දුමගේ මහතා අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් පනවා තිබෙන අතුරු තහනම් නියෝගය ජනවාරි මස 29 වනදා දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද නියම කළා.
ඒ, අදාල කර්නල්වරයා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම අද යළි සලකා බැලීමෙන් අනතුරුවයි. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රෝහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම කැඳවනු ලැබුවා.
එහිදී වගඋත්තරකරුවෙකු වශයෙන් නම්කර සිටින මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනවිරත්න මහතා වෙනුවෙන් පෞද්ගලික නීතිඥවරයකු පෙනී සිටින බව දැනුම් දුන්නා. එමෙන්ම මෙම විමර්ශනයට අදාළ මුල් පැමිණිල්ල ඉදිරිපත් කළ රෝහාන් ද සිල්වා පියතුමා ද මෙම නඩුකරයට මැදිහත් වී කරුණු දැක්වීම සඳහා සිය නීතිඥවරයා මාර්ගයෙන් අවසර ඉල්ලා සිටියා.
ඉන් අනතුරුව පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි ශබ්රි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ සිය සේවාදායකයා ජ්‍යෙෂ්ඨ යුද හමුදා බුද්ධි නිලධාරියෙකු වන අතර ඔහු මේ වන විට දියතලාව යුද හමුදා පුහුණු පාසලේ සේවය කරන බවයි.
තම සේවාදායකයා අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අරමුණින් පමණක් මෙම පෙත්සම ගොනු කර තිබෙන බවත් විමර්ශන අඩාල කිරීමේ කිසිදු අවශ්‍යතාවක් තමන්ට නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා එහිදී පැවසුවා.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම විමර්ශනයට අදාළ සම්පූර්ණ වාර්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන බවයි.
මෙම සිද්ධීන්වලට අදාළ විමර්ශන අඛණ්ඩව සිදුවන බවත් ඇය සඳහන් කර සිටියා.
ඒ අනුව අධිකරණය විසින් පාර්ෂවකරුවන්ට නියෝග කළේ මෙම නඩුකරයට අදාල විරෝධතා තිබේ නම් ඒවා දෙසැම්බර් මස 11 වනදාට පෙර ගොනු කිරීමට පියවර ගන්නා ලෙසත්, ප්‍රතිවිරෝධතා තිබේ නම් ඒවා ජනවාරි මස 14 වනදාට පෙර ගොනු කිරීමට පියවර ගන්නා ලෙසයි.
ඉන් අනතුරුව මෙම පෙත්සම වැඩිදුර කරුණු තහවුරු කිරීම සඳහා ජනවාරි මස 29 වනදා කැඳවීමට අධිකරණය විසින් නියම කරනු ලැබුවා.




